චම්පිකට සහ කෙහෙළියට විදෙස්ගතවීමට අවසර

චම්පිකට සහ කෙහෙළියට විදෙස්ගතවීමට අවසර

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත්කරන ලෙස කොළඹ මහාධිකරණය අද (12) නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විසින් එම නියෝගය නිකුත් කළේය.

2016 වසරේ පෙබරවාරි 28 වනදා රාජගිරිය ප්‍රදේශයේ ඇතිවූ රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, තරුණයෙකු බරපතළ අනතුරට ලක්කිරීම, සාක්ෂි සැඟවීම ඇතුළු අධි චෝදනා යටතේ පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොණුකළ නඩුවකට ඇප නියමකළ අවස්ථාවේදී ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට මහාධිකරණය නියම කර තිබුණි.

අද (12) පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් තම සේවාදායකයාට සිය දියණිය දැක බලාගැනීම සඳහා කැනඩාවට යාමට අවශ්‍යවී තිබෙන බව සඳහන් කළේය.

ඒ සඳහා දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත්කිරීමේ නියෝගයක් ආගමන හා විගමන පාලකවරයා වෙත නිකුත්කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා මැයි 13 වනදා සිට සැප්තැම්බර් 23 වනදා දක්වා කාලසීමාව තුළ පාඨලී චම්පික රණවක මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළේය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පණවා තිබූ විදේශ ගමන් තහනමද තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් නියෝගය ලබා දී තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවට සහ වෙනත් රාජකාරී කටයුතු සඳහා විදේශ ගතවීමට අවශ්‍යව තිබෙන හෙයින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පණවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා මැයි මස 23 වනදා සිට නොවැම්බර් මස 30 වනදා දක්වා කාලසීමාව තුළ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පණවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කිරීමටත් ඔහුට විදේශ ගතවීමට අවසර දෙන ලෙසත් ආගමන හා විගමන පාලකවරයාට නියම කළේය.

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදල් වැය කොට බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව මෙම නියෝග නිකුත් කෙරුණි.

Share This