චීන මව තම කුඩා දියණිය ලාංකික මෙහෙකාරියට දී පලායද්දී අත්අඩංගුවට

චීන මව තම කුඩා දියණිය ලාංකික මෙහෙකාරියට දී පලායද්දී අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී චීන ජාතික කාන්තාවක් ඇයගේ කුඩා දියණිය , මෙතෙක් කළක් බලා ගත් ශ්‍රී ලාංකික සේවිකාවට භාර දී , ආපසු පළා යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් , ඇය ගුවන් යානය වෙත පිවිසීමට සූදානම් වෙමින් සිටියදී ඊයේ (12) රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ.

ඇය 35 හැවිරිදි චීන ජාතික කාන්තාවකි. ඇය 58 හැවිරිදි සිය මව සමග ඩුබායි හි කුළී පදනමට ලබා ගත් නිවෙසක වාසය කර තිබේ. මෙම චීන තරුණ කාන්තාව ප්‍රසිද්ධ සමාජ ශාලා වල නර්තනයේ යෙදෙන නළගනකි.

ඇයට දියණියන් දෙදෙනෙකු සිටින අතර එයින් වයස අවුරුදු 03 යි මාස 06 ක් වන බාළ දියණිය, ඇය බලා ගැනීමට සිටි ශ්‍රී ලාංකික සේවිකාවට දැඩි ලෙන්ගතුකමක් දැක්වූයේ, තම චීන ජාතික මවට වඩා තමන්ට සෙනෙහස දැක්වීම නිසාය.

මෙම ශ්‍රී ලාංකික සේවිකාව කුරුණෑගල, පොල්ගහවෙළ, පොතුහැර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවකි .

ඇය පසුගිය දා තම සේවා කාළය අවසන්ව යළිත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මෙම වෙන්වීමෙන් චීන ජාතික කුඩා දැරිය මහත් අපහසුතාවයට පත් වී සිටි අතර, ඇය අස්වසාලන්නට නොහැකි තත්වයකට මෙම චීන ජාතික මව පත් වී තිබේ.

මේ කිසිවක් සදහන් නොකළ මෙම චීන කාන්තාව , ශ්‍රී ලාංකික සේවිකාව අමතා , තමන් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන බවත් , ඔවුන් රැගෙන යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙසත් දන්වා තිබේ.

ඒ අනුව ඇය පිළිගැනීම සඳහා මෙම සේවිකාව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, මෙම චීන ජාතික කාන්තාව, ඇයගේ මව සහ බාළ දියණිය රැගෙන පෙරේදා (11) දින රාත්‍රී 10.30 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

කටුනායක ගුවන් තොටුපොළේ දී මොවුන් මුණ ගැසී ඇති අතර , මද වේලාවක් සතුටු සාමීචියේ යෙදී සිටි චීන ජාතික කාන්තාව, ඇයගේ බාළ දියණිය ශ්‍රී ලාංකික සේවිකාව අතට දී එකවරම ගුවන් තොටුපොළෙන් අතුරුදහන් වී තිබුණි.

මෙම සිදුවීම පිළිබඳ වහාම කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය දැනුවත් කිරීමට ශ්‍රී ලාංකික සේවිකාව පියවර ගෙන තිබුණි.

ඒ අනුව මෙම කාන්තාව සහ කුඩා දැරිය මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට පියවර ගත් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය ඊයේ (12) රාත්‍රී යළිත් ඩුබායි බලා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි මෙම චීන ජාතික කාන්තාව සහ ඇයගේ මව අත් අඩංගුවට ගෙන තිබුණි.

මේ වනවිට මෙම චීන ජාතික කාන්තාවන් දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් තිබේ.

Share This