CCTV දඩ කොළ රියදුරුට නොදී වාහන හිමිකරුට දීම ගැන ගැමුණුගේ විරෝධය

CCTV දඩ කොළ රියදුරුට නොදී වාහන හිමිකරුට දීම ගැන ගැමුණුගේ විරෝධය

ආරක්ෂිත කැමරාවලින් හඳුනාගන්නා නීති උල්ලංඝනය කරන රියදුරන්ට අදාළ දඩ කොළය වාහන හිමිකරුවන්ට ලබා දීමට ගෙන තිබෙන තීරණයට දැඩි ලෙස විරෝධය දක්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

මේ නිසා අදාළදඩ කොළය, වරද සිදුකරන රියදුරුටම ලබා දෙන ක්‍රමවේදයක් සකස් කරන ලෙසට අද (22දා) මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් හා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටීමට කටයුතු කරනබව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

කොළඹ නගරයේ සවිකර තිබෙන ආරක්ෂිත කැමරාවලින් නීති උල්ලංඝනය කරන රියදුරන් හඳුනාගෙන අද සිට ඊට අදාළ දඩ කොළ වාහන හිමියන්ට ලබා දීමට තීරණය කර තිබෙන බවත් බස් රථ ගතහොත් අදාළ ධාවන කටයුතු සිදුකරනු ලබන්නේ රියදුරන් විසින් බවද පවසා සිටියේය.

බොහෝ රියදුරන් දෛනික පදනම මත සේවය කරන පිරිස් බවත් මේ නිසා වාහන හිමිකරුට ලැබෙන දඩ කොළය වාහන හිමිකරු විසින්ම ගෙවා දැමීමට සිදුවන බවත් මේ නිසා නිසි ක්‍රමවේදයක් සකස් නොකර බස් හිමියන්ට දඩ කොළ ලබා දීමට කටයුතු කළහොත් බස් රථ සේවයෙන් ඉවත් කර ගන්නා බවද කියා සිටියේය.

මෙම ක්‍රමය හරහා වැරදි කරන රියදුරන්ට කිසිදු දඬුවමක් නොලැබෙන බවත් බස් හිමියන්ට දඩ කොළ ගෙවීමට සිදුවීම තුළින් සිදුවන්නේ බස් හිමියන්ට ලැබෙන සුළු ආදායමත් දඩකොළ වෙනුවෙන් ලබාදීමට බවත් සඳහන් කළේය.

යුරෝපයේ ක්‍රමය මෙරටට හඳුන්වා දීමට බව සඳහන් කරමින් මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවත් යුරෝපයේ ත්‍රිරෝද රථ නොමැති අතර, මීට අමතරව විශාල මංතීරු ප්‍රමාණයක් මාර්ගවල පවතින බැවින් එම රටවල බස් රථ සේවකයන්ට අවශ්‍ය පහසුකම් පවා ලබා දී තිබෙන බවද පවසා සිටියේය.

එහෙත් මෙරට බස් සේවය සැලකීමේදි බස් රථ ආරම්භ කරන හා බස් රථ ගමනාන්තය අවසන් කරන ස්ථානයක බස් රථ සේවකයන්ට ජලය ටිකක් හෝ ලබා ගැනීමට පවා පහසුකම් නොමැති බවත්, මෙරට මාර්ගවල පවතින්නේ මංතීරු දෙක තුනක් වැනි ප්‍රමාණයක් බැවින් එම මංතීරුවල ත්‍රිරෝද රථ,යතුරුපැදි, පාපැදි, කුඩා වාහන, විශාලවාහන හා බස් රථ ධාවනය කිරීමට සිදුව තිබෙන බවද සඳහන් කළේය.

එම වැඩපිළිවෙළ සඳහා බස් රථ නියාමනය කරන්නේ නම් අනිවාර්යෙන්ම බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් විජේරත්න මහතා පැවසීය.

ත්‍රී රෝද රථ ඇතුලු වෙනත් වාහන බස් මංතිරුවේ ගමන් කිරීම හේතුවෙන් බස් රථ ධාවනය ගැටලුවක් වී ඇතැයිද ඔහු සඳහන් කළේය.