කොටස් එකලස් කර සැකසූ සුපිරි මෝටර් රථයක් සමග අයෙක් අත්අඩංගුවට

කොටස් එකලස් කර සැකසූ සුපිරි මෝටර් රථයක් සමග අයෙක් අත්අඩංගුවට

කොටස් එකලස් කර සැකසූ සුඛෝපභෝගී මෝටර් රථයක් සමග අවන්හල් හිමිකරුවකු ගෝනපොළ දුවහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.

වාහනය තුළ තිබී යතුරු පැදියක ,හා තීරෝද රථයක ලියාපදිංචි සහතික දෙකක් සහ තවත් යතුරුපැදියක සහතික කරන ලද ලියාපදිංචි සහතිකයක පිටපතක් තිබූ බව පොලිසිය කියයි.

වාහනයට යොදා තිබූ අංක තහඩුවද ව්‍යාජ එකක් බව පොලිසිය සඳහන් කරයි.

සැක කටයුතු වාහනයක් නිවසක් ඉදිරිපිට නතර කර තිබෙන බවට පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් ගොස් සිදු කළ මූලික පරික්ෂාවේදී එහි සවිකර තිබූ අංක තහඩුව හලාවත බංගදෙනිය ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් මෝටර් රථයකට හිමි අංකය බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

අනතුරුව සැකකාර අවන්හල් හිමියා සහ මෝටර් රථය අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන විත් මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව හරහා රථයේ චැසි හා එන්ජින් අංක සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර පරීක්ෂාවේදී එහි පරිගණක පද්ධතියේ කිසිදු ලියාපදිංචියක් නොමැති බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අහම්බෙන් ගුවන් තොටුපොළේ දී හමු වූ ජපානේ සිටින පුද්ගලයකු මාර්ගයෙන් රුපියල් ලක්ෂ හයකට නුවරඑළියේ සිට පැමිණි පුද්ගලයෙකුගෙන් මෝටර් රථය මිලදී ගත් බවත් ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.

මෙම මෝටර් රථය යම් අපරාධ සඳහා යොදා ගෙන ඇද්ද යන්න සොයා වැඩිදුර විමර්ශන සිදු කරන බවත්, අත්අඩංගුවට ගත් සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය සඳහන් කරයි.

Share This