ජාතික ශිෂ්‍යභට බළකාය හා ඒකාබද්ධව සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවීමට සැලසුම්

ජාතික ශිෂ්‍යභට බළකාය හා ඒකාබද්ධව සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවීමට සැලසුම්

සිසුන්ගේ නිර්මාණශීලිත්වය තුළින් තරුණ පරපුරේ ආරක්‍ෂාව සහ සමාජ සුරක්‍ෂිතභාවය තහවුරු කිරීම සඳහා සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවීමට රජය විසින් මේ වනවිට කටයුතු කර ඇති අතර, එමඟින් අපගේ දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගැනීමට හැකිවන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

කුසලතාවලින් පිරි අපේ දරුවන්ගේ සහ ශිෂ්‍යභට බළකායේ ක්‍රියාකාරකම් නවීන තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රචලිත කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට ද තවදුරටත් කටයුතු කෙරේ.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඊයේ (02) රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැති ජාතික ශිෂ්‍යභට බළකායේ වාර්ෂික හර්මන් ලූස් සහ ද සොයිසා ශූරතාවලිය – 2023 හි විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් මෙම අදහස් පළ කළේය.

“අපි මේ වසර තුළ ජාතික බුද්ධි ඒකකයත්, ජාතික ශිෂ්‍ය භට බළකායත් සමග එකතුව සමාජ බුද්ධි එකකයක් පිහිටුවීමට තීරණය කළා. ඒ වැඩපිළිවෙල අපි මේ වසරේ ආරම්භ කළා. ඒ අනුව පාසල් තුළ සිදුවන අකටයුතුකම්, මත්ද්‍රව්‍ය උවදුර අවම කරන්න සහ නැති කරන්න වගේම මුලින්උපුටා දමන්න මේ බුද්ධි එකකය ඉවහල් කර ගැනීමට අපට හැකිවෙයි. ඒ වගේම ජාතික වීරයන් තරුණ පරපුර අතරින් බිහි කරන්න ජාතික වැඩපිළිවෙලක් ආරම්භ කළා.”

ජාතිය වෙනුවෙන් කරන ලද සේවය හා කැප කිරීම අගයනු වස් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් 2023 වසරේදී ජාතික ශිෂ්‍යභට බලකාය වෙත ජනාධිපති වර්ණ හා බලකා වර්ණ පිරිනැමීමෙන් පසු පවත්වනු ලැබූ පළමු පෙළපාලිය ද මෙය විය.

කොළඹ ආනන්ද විද්‍යාල ශිෂ්‍යභට ඛණ්ඩය සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලය 2023 හර්මන් ලූස් සහ ද සොයිසා ශූරතා හිමිකර ගත්තේය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා විසින් හර්මන් ලූස් සහ ද සොයිසා ඛණ්ඩවල ජයග්‍රාහකයින්ට පදක්කම් සහ සම්මාන ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවිය.

පෙළපාලියෙන් අනතුරුව සභාව අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා ජාතික ශිෂ්‍යභට බලකාය නඟා සිටුවීම සඳහා ආරම්භ කර ඇති ක්‍රියාමාර්ග පිළිබඳ අවධාරණය කරන ලදි.

තවද,රනිල් වික්‍රමසිංහ මැතිතුමා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි සමයේ දී ජාතික ශිෂ්‍යභට බළකායේ ඇති වැදගත්කම හඳුනාගෙන එය අධ්‍යාපන අමාත්‍යාංශයට ඒකාබද්ධ කිරීම පිළිබඳව අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා මෙහිදී සිය විශේෂ කෘතඥතාව පළ කළේය.

ජාතික ශුරතාවය ජයග්‍රහණය කල ශිෂ්‍යභට කණ්ඩායම්වලට, තරඟයේ විශිෂ්ට දස්කම් දැක්වූ ශිෂ්‍යභට කණ්ඩායම් වලට මෙන්ම සියලු ශිෂ්‍යභට කණ්ඩායම් වෙත ද අමාත්‍ය තෙන්නකෝන් සිය සුබපැතුම් පිරිනැමීය.

එමෙන්ම තම දරුවන් ශිෂ්‍යභට පුහුණු ක්‍රියාකාරකම් සඳහා යොමු‍කිරීම වෙනුවෙන් සහ තම දරුවන්ට ශක්තියක් වීම පිළිබඳව ඔවුන්ගේ දෙමාපියන්ට ද මෙහිදි ස්තූතිය පුද කළේය.

Share This