බොරළුකන්ද විහාරයේ තහනම ඉවත් කළැයි විරෝධතාවක් – උසාවියෙන් වාරණ නියෝගයක්

බොරළුකන්ද විහාරයේ තහනම ඉවත් කළැයි විරෝධතාවක් – උසාවියෙන් වාරණ නියෝගයක්

ත්‍රිකුණාමලය, නිලාවෙලි බොරළුකන්ද රජමහා විහාරයේ තහනම ඉවත් කිරීමට එරෙහිව උප්පුවේලි සාම්බල්තීව් පාලම අසලදී අද (03) යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් හා සෙල්වරාසා ගජේන්ද්‍රන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණයක් පැවැත්වුණි.

මෙම උද්ඝෝෂණය ත්‍රිකුණාමලය දෙමළ සභාව නැමිති සංවිධානයක් විසින් සංවිධානය කර තිබුණි. පළමුව නිලාවෙලි පොලිස් බල ප්‍රදේශයට අයත් බොරළු කන්ද රජමහ විහාරය පිහිටි පෙරියකුම් හංදියේ උද්ඝෝෂණය සිදුකිරීමට සැළසුම් කර තිබුණි.

පසුව නිලාවෙලි හා උප්පුවේලි පොලිස් වසම් මායිම් වන සාම්බල්තීව් මංසංධියේ දී එය පැවැත්වීය.

මෙම විරෝධතාවය හේතුවෙන් නිලාවෙලි – ත්‍රිකුණාමලය මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ලවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පැවැසුවේ 48 නිදහසින් පසු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියයට හතරක් වු සිංහල ජන ගහණය නිදහසින් පැවැති ආණ්ඩු විසින් ජනතාව පදිංචිකර විශාල ලෙස වැඩිකර ඇති බවයි.

මේ වනවිට දෙමල ජනයා පදිංචි ප්‍රදේශයන්හි බෞද්ධ විහාර සාදා සිංහල ජනතාව පදිංචි කරවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි සඳහන් කළේ .

දෙමල ජනතාව පදිංචි ප්‍රදේශ සිංහලකරණය කිරීම නිසා තිස් අවුරුදු යුද්දයක් පවා ඇතිවු බවත් ඉතිහාසයේ පැවැති රජයන් කල මෙම වරද වත්මන් ජනාධිපතිවරයා සිදුනොකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද පැවැසීය.

මේ අතර බොරළුකන්ද විහාර භූමිය ඉදිරිපිට රැස්වී විරෝධතාවයක් පැවැත්වීම වළක්වාලමින් ත්‍රිකුණාමලය අතිරේක මහේස්ත්‍රාත් දර්ශණී අන්නතුරෙයි මෙනවිය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

නිලාවෙලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ඩී. ප්‍රදීප් නිශාන්ත කුමාර මහතා ඉදිරිපත් කල වාර්ථාව සලකා බැලීමෙන් අනතුරුව පාර්ශව දෙකක වග උත්තරකරුවන් 14 දෙනෙකුට වාරණ නියෝගය නිකුත් කර තිබේ.

Share This