කෝටි දෙකක බීඩිකොළ සමඟ ලොරියක් පැහැරගත් පොලීසියේ දෙන්නෙක් මාට්ටු

කෝටි දෙකක බීඩිකොළ සමඟ ලොරියක් පැහැරගත් පොලීසියේ දෙන්නෙක් මාට්ටු

පුත්තලම නගරයේ දී රුපියල් කෝටි දෙකකට අධික බීඩි කොල තොගයක් සමග ලොරි රථයක් පැහැර ගැනිමේ සිද්ධියකට සම්බන්ධ පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු සමග තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පුත්තලම මූලස්ථාන පොලිසිය ඊයේ (19) රාත්‍රියේ සමත් වි තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, පුත්තලම කොට්ඨාශ රථවාහන අංශයේ පොලිස් සැරයන්වරයකු හා පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු පිරිසකි.

මෙම සිද්දියට තවත් පොලිස් නිළධාරීයෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා තිබේ.

අදාල බීඩි කොල ලොරිය හා රියදුරු පැහැර ගැනිම පෙරේදා අලුයම් කාලයේ සිදුව ඇතිබව පොලිස් පරික්ෂණ වලදී හෙළිව ඇත.

කොල්ලකරුවන් වෑන් රථයකින් පැමිණ පලමුව බීඩි කොළ රැගෙන ආ ලොරි රථයේ රියදුරාව පැහැර ගෙන ගොස් පහර දී ඔහු සතුව තිබු මුදල් හා ජංගම දුරකථන කොල්ලකාගෙන රියදුරුව නින්දෙනිය ප්‍රදේශයේ දමා ගොස් තිබු බව කියයි.

පසුව මෙම කොල්ලකරුවන් වෑන් රථයෙන්ම පුත්තලමට ගොස් කොට්ඨාශ රථවාහන අංශ නිළධාරීන් දෙදෙනා සමග නැවත බීඩි කොළ අසුරා තිබු ලොරි රථය අසලට පැමිණ පොලිස් ආරක්ෂාව යටතේ මෙම ලොරිය පැහැර ගැනිම සිදුකර ඇති බව මේ වන විට තහවුරු වී ඇති බව පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් පවසයි.

බීඩි කොළ අසුරා තිබු ලොරි රථයේ බීඩි කොළ කිලෝ 2500 කට ආසන්න ප්‍රමාණයක් උර 84 ක අසුරා තිබී ඇති බවත් පැහැර ගත් ලොරි රථය පොලිස් නිළධාරීන් දෙදෙනාගේ ආරක්ෂාව යටතේ කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් එහි තිබු රුපියල් කෝටි දෙකකට ආසන්න බීඩි කොළ තොගය වෙනත් ලොරි රථයකට පටවා ගෙන විත් හිස් ලොරි රථය කොට්ටුකච්චිය ජලාශය ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ දමා ගොස් තිබියදි හමුව තිබු බව පැවසෙයි.

මෙම බීඩි කොළ තොගය රදවා තිබු ලොරි රථය පැහැර ගැනීමට සම්බන්ධ කොට්ඨාශ රථවාහන නිළධාරීන් නිළ ඇදුමින් පැමිණ ඇති බව පැහැර ගැනීම සිදුවු ස්ථානයේ ඇති සීසීටිවි කැමරා වල සටහන් වී ඇති බව පරික්ෂණ පවත්වන පොලිස් නිළධාරීන් පවසයි.

කෙසේ නමුත් කොල්ලකරුවන් රථවාහන පොලිස් නිළධාරීන් සමග පැහැර ගෙන කොල්ලකෑ රුපියල් කෝටි දෙකකට ආසන්න බීඩි කොල තොගය පිලිබදවද මේ වන විට පරික්ෂණ ආරම්භ වී ඇති බව පරික්ෂණ පවත්වන අපරාධ විමර්ශන අංශ නිළධාරීන් පවසයි.

ලැබෙන තොරතුරු අනුව මෙම බීඩි කොල තොගය ඉන්දියාවේ සිට හොර රහසේ මුහුදු මාර්ගයෙන් රැගෙන ආ ඒවා බවට වාර්තාවෙයි.

පොලිස් රථවාහන නිළධාරීන් හා කොල්ලකරුවන් විසින් පැහැර ගත් ලොරි රථය පොලිස් ඇගිලි සළකුණු නිළධාරින් විසින් ඇගිලි සලකුණු ලබා ගැනිම ලොරි රථය දමා ගොස් තිබු ස්ථානයේදීම සිදුකිරිමට කටයුතු කෙරුණි.

අදාල කොල්ල කෑමට සම්බන්ධ රථවාහන පොලිස් සැරයන්වරයා හා කොස්තාපල්වරයා සමග මෙම කොල්ල කෑම මෙහෙය වු පුත්තලමේ පදිංචි තවත් සැකකරුවන් තිදෙනෙකු පුත්තලම මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශ අංශ නිළධාරීන් විසින් ඊයේ සවස වන විට අත්අඩංගුවට ගැනිමට සමත්ව තිබේ.

අදාල සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ නියෝග හා උපදෙස් මත පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.පි.එන්.කුලතුංග මහතාගේ මෙහෙයවීමෙන් පුත්තලම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ආර්.ඒ.එච්.එම්.හේරත් මහතා සමග පොලිස් සැරයන් වරුන් වන 30089 තිලකසිරි, 62720 ලක්ෂමන් යන නිළධාරින් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට කටයුතු කර තිබුණි.