භානුක තෝරා නොගත් හේතුව තරංග කියයි

භානුක තෝරා නොගත් හේතුව තරංග කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ (4 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය හමුවක් කැඳවූ අතර එහිදී භානුක රාජපක්ෂ ආබාධයකට ලක් වී ඇති බව තමන්ට වාර්තා වී ඇති බව තේරීම් කමිටු සභාපති තරංග සඳහන් කළේය.

භානුක රාජපක්ෂ කණ්ඩායමට නොකැඳවීමට හේතුව කුමක්දැයි නැගුණු පැණයකට පිළිතුරු ලබා දෙමින් උපුල් තරංග “මේ බව ප්‍රකාශ කළා.

අවුරුද්දේ පළවෙනි විස්සයි විස්ස තරගාවලි දෙකට භානුකව එකතු කරගන්න අපිට බැරි වුණා. බංග්ලාදේශේ එක්ක තරගාවලියෙදී අපි හිතුවා එයාට අවස්ථාවක් දෙන්න. කුසල් ජනිත් නැති නිසා. හැබැයි අපිට එයා ආබාධයකට ලක් වෙලා කියලා අහන්න ලැබුණා. එහෙම තියෙද්දී තරග ක්‍රීඩා කරන්න කියන්න බෑනේ” යනුවෙන් ඔහු සඳහන් කළේය.

මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වූ තරංග “මේ දිනවල ජාතික සුපිරි ලීගය ක්‍රියාත්මක වෙනවා. මේ තරගාවලිය සඳහා භානුකත් කණ්ඩායමකට නම් වෙලා තිබ්බේ.

හැබැයි භානුක අදාළ කණ්ඩායමේ කළමණාකරුව දැනුවත් කරලා තිබ්බා එයාට ආබාධයක් තියෙනවා, එයා භෞත චිකිත්සක කෙනෙක් ලවා පරීක්ෂා කරාම විවේක ගන්න කිව්වා කියලා. අපේ භෞත චිකිත්සක කෙනෙක් නෙමෙයි මේ පරීක්ෂණය කළේ” යනුවෙන් සඳහන් කළේය.

මේ අතර මෙම මාධ්‍ය හමුවේදී දික්වැල්ල නැවතත් සංචිතයට කැඳවීමට හේතුව නායකයාගේ සහ පුහුණුකරුගේ කැමැත්ත බවද තරංග සඳහන් කළේය.

එමෙන්ම වනිඳුගේ හිස්තැනට වියස්කාන්ත් කැඳවීම පිළිබඳව සාකච්ඡා කළ බවත් අත්දැකීම් මත පදනම්ව වැන්ඩර්සේට අවස්ථාව ලබා දුන් බවත් ඔහු පැවසීය.

Share This