බෙලිඅත්ත පංච පුද්ගල ඝාතකයන් ආ ජීප් රථය සොයා ගැනේ

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතකයන් ආ ජීප් රථය සොයා ගැනේ

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන ජීප් රථය ගාල්ලේ, විද්‍යාලෝක පිරිවෙනේ රථ ගාලේ තිබිය දී සොයාගත් බව පොලිසිය පවසයි.

ඝාතනයෙන් පසු ජීප් රථය මෙම රථගාලේ දමාගොස් ඇති බවට සැකකරන අතර මාතර සිට පැමිණි විශේෂ පොලිස් නිලධාරි කණ්ඩායමක් විසින් මෙම ජීප් රථය අත්අඩංගුවට ගෙන ඇත.

ජීප් රථය අයත් කාටද යන්න පිළිබඳ සොයා ගැනීම සඳහා පොලිසිය විසින් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු පොලිසිය මගින් කඹුරුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ පොලිසිය විසින් මෙම ඝාතකයින් පැමිණි මෝටර් රථය සොයාගෙන ඇති බවද පැවසේ.

පසුගිය 22 වනදා උදෑසන තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමෙන් අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ඇතැළු පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණි.

උදෑසන 8.30ත් 8.40ත් කාලයේ මෙම වෙඩිතැබීම සිදුව තිබූ අතර, වෙඩිතැබීම සිදුවු ස්ථානයේම පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබිණි.

එක් පුද්ගලයෙක් තංගල්ල රෝහලට ඇතුළත් කර සිටිය දී ජීවිතක්ෂයට පත්වුණි.

වෙඩිවැදීමෙන් ඉලේකුට්ටිගේ සමීර මධුසංඛ, කුමාර විදාරණලාගේ හසිත චින්සුක, බයියාදුරයලාගේ බුද්ධික රාපක්ෂ සහ කන්නංගර කෝරළලාගේ නලින් චම්පික ජයතිලක යන අය ද මියගියේය.

සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කර කොළ පැහැති ජීප් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.