මෙරට නිපදවන ඇස්ප්‍රින් ඛාණ්ඩ දෙකක් භාවිතයෙන් ඉවතට

මෙරට නිපදවන ඇස්ප්‍රින් ඛාණ්ඩ දෙකක් භාවිතයෙන් ඉවතට

රජයේ රෝහල්වල භාවිතය සඳහා මිල දී ගෙන ඇති මෙරට සමාගමක නිපදවන ලද ‘ඇස්පිරින්’ පෙති තොගයක ‘ඇස්පිරින්’ නමැති එහි ප්‍රධානතම සංඝටකය වන ඇසිටයිල් සැලිසිලික් අම්ලය නොමැති බව තහවුරු වීම නිසා භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය පියවර ගෙන තිබේ.

වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායකගේ අස්සනින් යුතුව මෙම ඇස්පිරින් තොගය ඉවත් කිරීම සඳහා වන චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

‘ඇස්පිරින්’ අඩංගු නොවන මෙම ‘ඇස්පිරින්’ පෙති නිපදවා ඇත්තේ, කුරුණෑගල එලිබිච්චියේ පිහිටි ඖෂධ නිෂ්පාදන සමාගමක් මගිනි.

හෘදයාබාධ වලට ලක්වීමේ අවදානම සහිත හෝ හෘදයාබාධයන්ට ලක්වූ රෝගීන්ගේ හෘදයේ රුධිරවාහිනි වල රුධිර කැටි ඇතිවීම වැළැක්වීම සඳහා ඇස්ප්‍රින් අත්‍යවශ්‍ය ඖෂධයක් වේ.

මේ අතර, වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂවරයා තවත් චක්‍රලේඛයක් නිකුත් කරමින් වකුගඩු අක්‍රියතාවට ගොදුරු වී සිටින රෝගීන්ගේ කාන්දු පෙරන ප්‍රතිකාර සඳහා භාවිත කරන විශේෂ කැනයුලා වර්ගයක් වන ඒවි ෆිස්ටුලා කැනයුලා (AV Fistula Cannula) නමැති කැනයුලා වර්ගය ද තත්ත්වයෙන් බාල බැවින් වහා ම භාවිතයෙන් ඉවත් කරන්නැයි උපදෙස් දී තිබේ.

මෙම කැනයුලා වර්ගය ඉන්දියානු සමාගමක නිෂ්පාදනය කොට මෙරටට එවන ලද කැනයුලා තොගයකි. වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින් තවත් නිර්වින්දන එන්නතක් වන ‘ප්‍රපොෆොල්’ නමැති එන්නත ද භාවිතයෙන් ඉවත්කොට ඇතැයි වාර්තා වේ.

එය ඉන්දියාවේ ‘නන්දනී මෙඩිකල් ලැබොරටරීස්’ නමැති ආයතනයක නිෂ්පාදනයකි.

මෙම ඖෂධ ඉවත් කරන්නැයි දන්වා ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල ඇතුළුව සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ශික්ෂණ රෝහල්වල අධ්‍යක්ෂවරුන්, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, ඇතුළු සියලු සෞඛ්‍ය ආයතනයන්හි ප්‍රධානීන් වෙත ද මෙම චක්‍රලේඛයෙහි පිටපත් විගණකාධිපතිවරයා, ඇතුළු විගණන අංශ වෙත ද යවා ඇත.