සුපිරි 4 දෙනාගේ වටයේ තරග අද ඇරඹේ

සුපිරි 4 දෙනාගේ වටයේ තරග අද ඇරඹේ

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග අද (06) ආරම්භ වේ.

එම වටයේ පළමු තරගය පැවැත්වෙන්නේ, පකිස්ථානය සහ බංග්ලාදේශය අතරයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයට ඊයේ සුදුසුකම් ලබා ගත්තේ ය.

ඒ, ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඊයේ (05) පැවැති තරගය ලකුණු 2කින් ජය ගනිමිනි.

ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

ඉනිම ආරම්භ කළේ, දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංකයි.

ඔවුන් දෙදෙනා සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ, පළමු කඩුල්ලට ලකුණු 63ක සබඳතාවක් ගොඩනගමිනි.

කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක සිව්වැනි කඩුල්ලට ගොඩනැගූ සම්බන්ධතාවය ලකුණු 102කි.

ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගූ පිතිකරුවා බවට පත්වෙමින් කුසල් මෙන්ඩිස් ලකුණු 92ක් රැස් කළේ ය.

මහීෂ් තීක්ෂණ සමඟ එක්වූ දුනිත් වෙල්ලාලගේ 8වැනි කඩුල්ලට ලකුණු 64ක සබඳතාවයක් ගොඩගනමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේ ය.

ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 291කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3 ලකුණු 50කදී බිඳ වැටුණි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මොහොමඩ් නබී පන්දු 24කින් ලකුණු 50 සීමාව පසු කළ අතර ඇෆ්ගනිස්ථාන පිතිකරුවෙක් රැස් කළ වේගවත්ම එක් දින අර්ධ ශතකය එයයි.

ඔහු ලකුණු 65ක් රැස් කළේ ය.

ඇෆ්ගනිස්ථානයට තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට නම් පන්දුවාර 37යි එක් පන්දුවක් අවසානයේදී ජයග්‍රාහී සීමාව පසු කිරීම හෝ පන්දුවාර 37යි පන්දු 4ක් අවසානයේ ලකුණු 295 සීමාව පසු කළ යුතුව තිබුණි.

කෙසේ නමුත් එම සීමාව පසු කිරීමට පෙර ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් සියලු දෙනා දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ලකුණු 292ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 37යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 289ක් පමණි.