නීතීඥවරයෙකුගේ බල්ලා මැරුවයි ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරියක් අත්අඩංගුවට

නීතීඥවරයෙකුගේ බල්ලා මැරුවයි ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරියක් අත්අඩංගුවට

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ නීතීඥ පුතෙකුගේ නිවසක සුරතලයට ඇතිකරන සුනඛයකුට වස දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරියක් (25) දා අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක බව පොලීසිය කියයි.

කිරිවත්තුඩුව තලගල වත්ත ප්‍රදේශයේ පැමිණිලිකාර නීතිඥවරයාගේ නිවස පිහිටි භූමිය අවට ස්ථාන කිහිපයක ඉකුත් 12 දා කුඩා ප්‍රමාණයේ සැකකටයුතු පාර්සල් කිහිපයක් තිබී ඇති අතර ඒ බව දුටු මෙහෙකාරිය නීතිඥවරයා දැනුවත් කර ඇති අතර ඒ පිළිබඳව සොයා බලමින් සිටියදී එක්වරම නිවසේ ඇතිකරන සුනඛයා සෙම පෙරාගෙන සිහිසුන්ව බිම ඇද වැටී තිබේ.

ඒ අනුව පශු වෛද්‍යවරයෙකු නිවසට කැඳවා සුනඛයා පරික්ෂා කොට ඇති අතර එහිදී වෛද්‍යවරයා පවසා ඇත්තේ කිසියම් වස වර්ගයක් ශරීරගත වීමෙන් සුනඛයා මියගොස් ඇති බවයි.

ඒ අනුව නිවසේ සවි කර ඇති ආරක්ෂිත කැමරා පරික්ෂා කිරීමේදී ඉකුත් 12 දා නිවස ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණි රතු පැහැති මෝටර් රථයක් පැමිණ ඉන් බැසගත් පුද්ගලයෙකු කිසියම් ද්‍රව්‍යයක් වත්ත තුළට විසි කරන අයුරු දැක තිබේ.

ඒ අනුව නිවස හිමි නීතිඥවරයා සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමේදී සැකකටයුතු ලෙස පැමිණි මෝටර් රථය මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි ශ්‍රේෂ්ඨාධිකරණයේ රාජකාරියේ නිරත නීතිඥවරියක ට අයත් එකක් බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පවසයි.

ඒ අනුව සැකකාර නීතිඥවරියට 25 දා පොලිසියට පැමිණෙන ලෙසට කළ දැනුම් දීමකට අනුව පොලිසියට පැමිණි අවස්ථාවේදී ප්‍රකාශයක් සටහන් කොට ගෙන කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගැණිනි.

මීට වසර පහකට පෙර පැමිණිලිකාර නීතිඥවරයා ඝාතනය කිරීමේ අරමුණෙන් පුද්ගලයින් සිව් දෙනෙකු පැමිණිලිකරුගේ නිවසට පැමිණ කලහකාරීව හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද මීට පෙර පොලිසියේ පැමිණිල්ලක් කර තිබේ.

පැමිණිලිකරු මෙරට කීර්තිමත් මියගිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ගේ පුත්‍රයෙකි.