පියෙක් බූරු ගහන්න සල්ලි ඉල්ලා ගත් පොළීකරුවෙකුට 16 හැවිරිදි දියණිය විකුණලා

පියෙක් බූරු ගහන්න සල්ලි ඉල්ලා ගත් පොළීකරුවෙකුට 16 හැවිරිදි දියණිය විකුණලා

සිය බිරියද හවුල් කර ගනිමින් නිවසේ පවත්වාගෙන ගිය බූරුපොළට පොළී කරුවකුගෙන් ලබාගත් මුදල් වෙනුවට තම පාසල් යන 16 හැවිරිදි දියණිය විකිණු බව කියන පියකු අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලීසියේ ළමා කාන්තා කාර්යංශය කියයි.

මුදල් පොලියට ලබාදෙන පුද්ගලයා රහසිගතව සිසුවියට ලබා දී තිබූ ජංගම දුරකථනය ඇයගේ පුංචි අම්මාට හසුවීම හේතුවෙන් මේ පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබේ.

පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව හෙළිවී ඇත්තේ වසර දෙකකට පෙර සිය මාමා ද ඇය දූෂණය කර ඇති බවයි.

සැකකාර පියා ඊයේ සවස අත්අඩංගුවට ගැනීමෙන් පසු දැරිය දුෂණය කළ බව කියන ඇයගේ මාමා සහ පොලීකරුවා ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.

අගලවත්ත පනාදඬුකන්ද ප්‍රදේශයේ පදිංචි දියණියන් දෙදෙනෙකු සිටින අඹු සැමි යුවළක් තම නිවසේ දීර්ඝ කාලයක සිට රහසිගතව සූදුපොළක් පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්.

කලවාන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි විවාහක පුද්ගලයෙකු මෙම සූදු පොළට මුදල් පොලියට ලබාදීම සඳහා වරින් වර පැමිණ තිබෙන අතර සැකකාර පියා ද බූරුවා ගැසීමට මෙම පුද්ගලයාගෙන් මුදල් ලබාගෙන ඇති බවටයි අනාවරණ වන්නේ.

එලෙස මුදල් ලබාගැනීම සඳහා මෙම පුද්ගලයා සමග ඇසුරක් පවත්වන ලෙසට තම වැඩිමහල් දියණියට සැකකාර පියා උපදෙස් දී ඇති අතර ඊට ඇයගේ මවගෙන් කිසිදු අනුමැතියක් ලැබී නැහැ.

එම ප්‍රදේශයේ පාසලක 11 වසරේ ඉගෙනුම ලබන සිසුවිය සැකකාර පොලිකරුවා විසින් නිවසට පැමිණ සහ දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගෙන 2022 වසරේ සිට මේ වන තෙක් වසරක් තිස්සේ තම මෝටර් රථයෙන් සහ ත්‍රී රෝද රථයකින් විවිධ ස්ථානවලට ගෙන ගොස් දූෂණය කර ඇති බවටයි විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

සිසුවිය සම්බන්ධ කර ගැනීම සඳහා සැකකාර පොලිකරුවා විසින් හොර රහසේ සිසුවියට ජංගම දුරකථනයක් ලබාදී ඇති බවත් එය සිසුවියගේ පුංචි අම්මාට සහ බාප්පාට හසුවී දුරකථනය පොලොවේ ගසා ඒ සම්බන්ධයෙන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයකදී මෙම රහස් සියල්ල හෙළිවී තිබෙනවා.

ඒ අනුව කළ විමර්ශනවලට අනුව මීට වසර දෙකකට පමණ පෙර 2021 වසරේදි සිසුවියගේ මාමා කෙනෙකු වන විවාහක පුද්ගලයෙකු බීමතින් නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක පැමිණ සිසුවියට බරපතල ලිංගික අපයෝජනයක් කර ඇති බව ද හෙළිවී ඇතැයි සඳහන්.

සිසුවිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකාර පියා අද (31) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පළා ගිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා

Share This