කෝටි 21 ක මත්ද්‍රව්‍ය සමඟ 7ක් අත්අඩංගුවට

කෝටි 21 ක මත්ද්‍රව්‍ය සමඟ 7ක් අත්අඩංගුවට

කුඩු වශයෙන් සකස් කළ කෘතිම ගංජා සහ කෘතිම ඇම්පටමයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 07 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහ කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේවායේ වටිනාකම රුපියල් කෝටි 21 ක් බව මත්ද්‍රව්‍ය නාශක අංශයේ උසස් නිලධාරීවරයෙක් පැවසීය.

හොංකොං සිට ඩුබායි හරහා කටුනායක ගුවන් තොටුපොළ වෙත ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී. – 822 දරණ ගුවන් යානයෙන් ගුවන් භාණ්ඩ තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

මෙම ගුවන් භාණ්ඩ තොගය රැගෙන යාමට පුද්ගලයන් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ අංශය වෙත පැමිණි අවස්ථාවේ, මෙම පාර්සලය ඔවුන් ඉදිරියේ විවෘත කළ අතර, එහිදී කිලෝ ග්‍රෑම් 33 ක් පමණ බර රුපියල් කෝටියක් පමණ වටිනා කෘතිම ගංජා තොගයක් එහි තිබී සොයා ගෙන මෙම පුද්ගලයන් ද සමග අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන්පසුව ඔවුන්ගෙන් ලද වැඩිදුර තොරතුරු මත, මෙම ව්‍යාපාරයේ ප්‍රධානියා විසින්, කොළඹ, පිටකොටුව ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන “ශබ්ද වාහිනී” පද්ධති අලෙවි කරන වෙළඳ සැළක් තුළ තිබී රුපියල් කෝටි 20 ක් පමණ වටිනා කෘතිම ඇම්පටමයින් කුඩු කිලෝ ග්‍රෑම් 100 ක් පමණ අත් අඩංගුවට ගැනීමට මෙම නිලධාරීන් සමත් වී තිබුණි.

ඒ සමගම කොළඹ බත්තරමුල්ල ප්‍රදේශයේ සිටි මෙම ව්‍යාපාරයට සම්බන්ධ රුසියානු ජාතිකයෙකු ඇතුළු තවත් තිදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.