අපරාධ රැසකට සම්බන්ධ අයෙක් තණමල්විල හේනක සැඟව සිටියදී අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ අයෙක් තණමල්විල හේනක සැඟව සිටියදී අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතන දෙකක් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු තණමල්විල නිකවැව දෙමෝදර වැව් ඉස්මත්තේ පිහිටි වගා භූමියක වාඩියක සැඟව සිටියදී තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවටගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සදහා තණමල්විල පොලිසිය විසින් අද (31) පෙරවරුවේ ඉංගිරිය පොලිසියට බාර දී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, උහපිටිගම, ලුණම, අම්බලන්තොට පදිංචි 30 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

සැකකරු 2022.12.14 දින තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග රත්නපුර නගරයේදී රියදුරු සමග කුළී පදනම මත ලබා ගත් කාර් රථයකින් කුළී ගමනක් යන මුවාවෙන් ඉංගිරිය ප්‍රදේශයට රැගෙන ගොස් එහිදී රියදුරුගේ කටට කඩදාසි ගුළියක් ඔබා නියනකින් ඇණ රියදුරු ඝාතනය කර කාර් රථය පැහැරගෙන යාම හා මිද්දෙණිය පොලිස් වසමේදී පුද්ගල ඝාතනයක් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයෙකි.

සැකකරු පොලිසිය හා අධිකරණය මග හරිමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල සැඟව සිටිමින් අපරාධ රැසක් සිදුකර ඇති බව මුලික පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වී තිබේ.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාරණය වී ඇත්තේ, සැකකරුට එරෙහිව අම්බලන්තොට හා ඇඹිළිපිටිය පොලිස් ස්ථානවල ගංජා සම්බන්ධ නඩු කිහිපයක් හා තිස්සමහාරාම පොලිස් ස්ථානයේ රථවාහන නඩුවක් මෙන්ම හුංගම පොලිස් ස්ථානයේ විවිධ අපරාධ 12ක් ඇති බවය.

පොලිස්පතිවරයාගේ නියෝග පරිදි තණමල්විල පොලිස් වසම් තුළ තාවකාලික පදිංචියේ සිටි පුද්ගලයන් සම්බන්ධ තොරතුරු රැස්කිරීමේදී මෙම සැකකරු සම්බන්ධ තොරතුරු අනාවරණය කර ගැනිමට හැකිව තිබේ.

සැකකරු සමග සැකකරුට නවාතැන් සපයමින් අපරාධ කරුවෙකුට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ නිකවැව, දොමෝදර පිහිටි ඉඩමේ හිමිකරු වන 65 හැවිරිදි පුද්ගලයෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතන සම්බන්ධ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සදහා ඉංගිරිය පොලිසියට බාර දුන් අතර අපරාධකරුට සැගවී සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මොණරාගල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය, සහකාර පොලිස් අධිකාරී උදය කුමාරගේ උපදෙස් පරිදි තණමල්විල මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.එම්.පී.බණ්ඩාර, පොලිස් විශේෂ කාර්යංශයේ උප පොලිස් පරීක්ෂක කරුණාරත්න, උප පොලිස් පරීක්ෂක ගමගේ හා පොලිස් සැරයන් (40156) කුමාර රත්න යන නිලධාරීන් එක්ව වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.