අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් නවතී – පිළිකා රෝගීන් දැඩි අසීරුතාවක!

අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් නවතී – පිළිකා රෝගීන් දැඩි අසීරුතාවක!

පෙට් ස්කෑන් පරීක්ෂණ සිදු කිරීමේදී රෝගීන්ට ලබා දෙන විකිරණශීලී එන්නත මහරගම අපේක්ෂා රෝහලේ නොමැති වීම හේතුවෙන් පිළිකා රෝගීන්ට සිදුකරන පෙට් ස්කෑන් පරික්ෂණ මාසයක කාලයක සිට නතර වී තිබේ.

මේ හේතුවෙන් ප්‍රතිකාර ලැබීමට එන රෝගින් දැඩි අපහසුතාවට පත් ව ඇත.

පෙට් ස්කෑන් පරීක්ෂණය සිදු කිරීමට පෙර FDG නම් මෙම විකිරණශීලී එන්නත රෝගියාට ලබා දෙන අතර ඉන් පසු ස්කෑන් පරීක්ෂණය සිදුකරයි.

මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ පසුගිය මැයි මස 26 වැනිදා සිට ඇනහිට ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම ප්‍රකාශ කළේය.

රෝගියාගේ ඇතිවන පිළිකා රෝග තත්ත්වයේ වර්ධනය, පිහිටීම හා ක්‍රියාකාරීත්වය සූක්ෂමව හඳුනා ගැනීමට යොදා ගන්නා නවීන පරීක්ෂණයක් මෙන්ම පිළිකා රෝගියකුගේ පිළිකාවට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව එහි නැවත වර්ධනය වීමක් සිදුවන්නේ ද නැද්ද යන්න නිවැරැදිව හඳුනා ගැනීමට හැකියාව ලැබෙන්නේ ද මෙම පෙට් ස්කෑන් පරීක්ෂණය මගිනි.

මෙසේ එම විකිරණශීලී එන්නත් සැපයීම අඩාළ වීමට හේතු වී ඇත්තේ එම එන්නත සැපයීම සඳහා නිසි කාලයේදී ටෙන්ඩර් කැඳවා අවශ්‍ය කටයුතු නොකිරීම බව ද රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදින්ගේ සංගමය පවසයි.

අඛණ්ඩ ඖෂධ සැපයුමක් පවත්වා ගැනීමට නම් එම ටෙන්ඩර් කැඳවීම නිසි කාලයේදී සිදු කළ යුතු අතර පවතින සැපයුම නතර වීමට පෙර ඊට සාධාරණ කාලයක් ලබාදී නව ටෙන්ඩර් කැඳවීම කළ යුතුය.

එහෙත් මෙම නව ටෙන්ඩර් කැඳවීමේ දී පෙට් ස්කෑන් පරීක්ෂණය සිදු කරන විකිරණ තාක්ෂණවේදී නිලධාරීන් කිසිවකුත් අපේක්ෂා රෝහලේ තාක්ෂණික ඇගයීම් කමිටුවට සම්බන්ධ කරගෙන නොමැති බවට ද විකිරණ විද්‍යා තාක්ෂණවේදිහු චෝදනා කරති.

මේ වනවිට රජයේ රෝහල් පද්ධතියේ තිබෙන්නේ පෙට් ස්කෑන් යන්ත්‍ර දෙකක් පමණක් වන අතර අනෙක් යන්ත්‍රය කොළඹ ජාතික ‍රෝහලෙහි ස්ථාපනය කර තිබේ.

මෙම එක් යන්ත්‍රයක් මගින් දිනකට සිදුකළ හැක්කේ රෝගීන් දස දෙනකුගේ පරීක්ෂණ ප්‍රමාණයක් පමණි.

Share This