රාජ්‍ය ඇමැති අනුරාධගේ නීතිවිරෝධි වැඩකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ ප්‍රා.ලේකම්වරියට ස්ථාන මාරුවක්

රාජ්‍ය ඇමැති අනුරාධගේ නීතිවිරෝධි වැඩකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ ප්‍රා.ලේකම්වරියට ස්ථාන මාරුවක්

අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න විසින් අයතා ලෙස පරිහරණය කරමින් තිබූ රාජ්‍ය දේපළ පිළිගත් නීතියට අනුව නැවත පවරා ගැනීමට ගිය උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා ජයරත්න වහාම ක්‍රියාත්මකවන පරිදි රාජ්‍ය සේවා, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශය වෙත ස්ථාන මාරු කර ඇතිබව වාර්තා වේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් සහ මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන් විසින් මෙම ස්ථාන මාරුව ලබාදී ඇත.

උඩපලාත රජයේ ඉඩමක් අනීතිකව අත්පත් කරගෙන එම ඉඩමේ රාජ්‍ය මුදල් භාවිතයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක්, ඇතුළු ඉදිකිරීම් කර ඉන් උපයනා ආදායම පුද්ගලික කටයුතු සඳහා යොදාගත්තේයැයි රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නට චෝදනා එල්ලවී තිබුණි.

රජයේ ඉඩම් සන්තකය ලබාගැනීමේ පනතේ 3 වන වගන්තියට අනුව එම වත්කමේ නිසි බලධාරියා ලෙස තමන්ට ඇති බලතල ප්‍රකාරව ප්‍රාදේශීය ලේකම්වරිය අනුරාධ ලංකා ජයරත්නට 2024.02.12 දිනට පෙර වහාම එම දේපල අතහැර යන ලෙස නිවේදනය කරන්නේ, ජනවාරි මස 12 වනදා එම සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට ගොස් එහි අදාල ලිඛිත නිවේදනය අලවමිනි.

ඉන් දෙසතියක් ඉක්මවීමට මත්තෙන් මෙම ස්ථාන මාරුව ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

මෙම නිලධාරිනිය මෑතකදී උඩපලාත ප්‍රාදේශීය ලේකම් ධූරයේ වැඩ භාරගෙන ඇති අතර මින් පෙර සිටි බොහෝ රාජ්‍ය නිලධාරීන් මෙම අවනඩුව නොදක්කා සේ හැසිරෙමින් සිට ඇති බව ද වාර්තා වේ.