අග්බෝ ගේ සුවදුක් බලන්න මන්ත්‍රී දුමින්ද යයි

අග්බෝ ගේ සුවදුක් බලන්න මන්ත්‍රී දුමින්ද යයි

පාදයේ පවතින දරුණු තුවාලයකට ප්‍රථිකාර ලබමින් මේ වන විට සුව අතට පත් වෙමින් සිටින අග්බෝ ඇතාගේ වත්මන් තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඊයේ (29) පස්වරුවේ සොයා බැලීමට කටයුතු කරනු ලැබීය.

අනුරාධපුර, තිරප්පනය, සන්දනන්කුළම ප්‍රදේශයේ රජයේ රක්ෂිතය තුළ මේ වන විට අගෝබෝ ඇතා රැඳී සිටින අතර, වනජීවී නිළධාරීන් හා පශු වෛද්‍ය නිළධාරීන් දිවා රෑ නොබලා අග්බෝ සුව අතට පත් කර ගැනීම වෙනුවෙන් රාජකාරියට එහා ගිය සේවයක් සිදු කරනු ලබයි.

පශු වෛද්‍යවරුන් හා වනජීවී නිළධාරීන් දිවා රෑ නොබලා , අග්බෝ සුව කිරීම වෙනුවෙන් සිදු කරන මෙහෙයද එහිදී දුමින්ද දිසානායක මහතාගේ ඇගයුමට ලක් විය.

මස් පිනිස වන සතුන් ඝාතනය කිරීම සඳහා ඇටවූ බඳින තුවක්කුවක් පත්තු වී අග්බෝ ඇතාගේ ඉදිරි පස වම් පාදයේ විශාල තුවාලයක් පවතින අතර, එම තුවාලය හේතුවෙන් අග්බෝ ඇතුට ඇවිදීමේ අපහසුතාවක් පවතී.

දින ගණනාවක සිට වනජීවී නිළධාරීන් හා පශු වෛද්‍ය නිළධාරීන් එක්ව තුවාල ලබා සිටින අග්බෝ ඇතුට ප්‍රථිකාර සිදු කරන අතර, මේ වන විට ඇතා සුව අතට පත් වෙමින් සිටින බව වනජීවී නිළධාරීන් පවසති.

වෛද්‍ය තාරක ප්‍රසාද් සහ වෛද්‍ය චන්දන ජයසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ එක්ස් රේ යන්ත්‍රයක් යොදා ගනිමින් අග්බෝ ඇතාගේ පාදයේ පවතින තුවාලය නිරීක්ෂණය කිරීමෙන් අනතූරව මේ වන විට ප්‍රථිකාර සිදු කරනු ලබයි. අග්බෝ වෙනුවෙන් මාසයකට වැඩි කාළයක් මේ වන විට ප්‍රථිකාර සිදු කර ඇත.

අග්බෝ සුව කර ගැනීම වෙනුවෙන් පශු වෛද්‍යවරුන්, තිරප්පනය වනජීවී කාර්යාල නිළධාරීන් ඇතුළු වනජීවී නිළධාරීන් මෙන්ම විශාල පිරිසක් ප්‍රථිකාර සඳහා දායකත්වය ලබා දෙන අතර, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ප්‍රජාව අග්බෝ ඇතාට අවශ්‍යය ආහාර සපයා දීම සිදු කරයි.