රේල් පීලි සොරකමේ පැමිණි ඩක්කුවක් දුම්රියක ගැටෙයි

රේල් පීලි සොරකමේ පැමිණි ඩක්කුවක් දුම්රියක ගැටෙයි

උතුරු දුම්රිය මාර්ගය නවීකරණයෙන් පසුව ඉවත් කරන ලද රේල් පීලි තොගයක් සොරකම් කිරීම සඳහා සොරුන් පිරිසක් පැමිණි ඩක්කුවක් දුම්රියක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

අද (15) අලුයම නඩත්තු කටයුත්තක් සඳහා දුම්රිය කාලසටහන ට භාහිරව ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් එම ඩක්කුව සම්පුර්ණයෙන් විනාශයට පත්ව ඇති බවයි අනුරාධපුර පොලිසිය සඳහන් කළේ.

ඊයේ රාත්‍රී 12.15 ට පමණ සොරුන් පිරිසක් විසින් නිර්මාණය කර ගන්නා ලද ඩක්කුවක් ආධාරයෙන් උතුරු දුම්රිය මාර්ගයට පැමිණ එම මාර්ගයේ 129 වන සැතපුම් කණුව ආසන්නයේ ගොඩ ගසා තිබූ රේල් පීලි සොරකම් කරමින් සිටින අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

ගොඩ ගසා තිබූ රේල් පීලි තොගයේ තිබූ පීලි 15ක් පමණ සොරුන් විසින් ගෑස් කටරයක් ආධාරයෙන් කපා වෙන්කර තිබූ අතර ඉන් කැබලි 7ක් පමණ අනතුරින් පසුව දුම්රිය මාර්ගය දෙපස විසිරී තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් දුම්රිය මාර්ගයේ සවිකර තිබූ කොන්ක්‍රීට් කැබලි කීපයකට සුළු හානි සිදුව තිබූ අතර අනතුර හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට කිසිදු බාධාවක් සිදුවී නැහැ.

මෙලෙස අනතුරකට ලක්ව තිබුනේ නඩත්තු කටයුත්තක් සඳහා කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ ‘යාල් රාණි’ දුම්රිය බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ.

මෙම සොරකම සඳහා පැමිණි පිරිස සැලසුම් සහගතව එය සිදු කිරීමට පැමිණ ඇති බවටත් අදාළ වේලාව තුළ දුම්රියක් ගමන් නොකිරීම හේතුවෙන් කාලසටහනට බාහිරව හදිසියේ දුම්රිය පැමිණීම හමුවේ සොරකම ව්‍යර්ථ වී ඇති බවටයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

Share This