ලොව පළමු වරට පණ ඇති පණුවෙක්,කාන්තාවකගේ මොළයෙන් හමුවෙයි

ලොව පළමු වරට පණ ඇති පණුවෙක්,කාන්තාවකගේ මොළයෙන් හමුවෙයි

64 හැවිරිදි ඕස්ට්‍රේලියානු කාන්තාවකගේ මොළයෙන් සජීවී පරපෝෂිත පණුවෙකු සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිනිසුන් තුළ මෙවන් ආසාදනයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ (ANU) සහ කැන්බරා රෝහලේ වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් විසින් මෙම සොයාගැනීම සිදුකර ඇති අතර එම පණුවා සෙන්ටිමීටර 8 (අඟල් 3.15) පමණ වන බවයි සඳහන්.

මොළයේ සැත්කමකින් පසු පණපිටින් සහ දඟලමින් සිටි මෙම පණුවා ”රෝගියාගෙන් ඇද ගන්නා” ලද බවයි සඳහන් වන්නේ.

එමෙන්ම පණුවාගේ කීටයන් කාන්තාවගේ පෙණහලු සහ අක්මාව ඇතුළු අනෙකුත් අවයවවලට ආසාදනය වී ඇති බවට සැක කෙරෙන බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

ANU සහ කැන්බරා රෝහලේ බෝවන රෝග පිළිබඳ විශේෂඥයකු වන සංජය සේනානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ “ලෝකයේ විස්තර කරන ලද ඔෆිඩස්කාරිස්ගේ පළමු මිනිස් සිද්ධිය මෙයයි..” (This is the first-ever human case of Ophidascaris to be described in the world) යනුවෙන්.

“ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් නිරන්තරයෙන් මොළයේ ආසාදන සමඟ කටයුතු කරනවා. නමුත් මෙය වෘත්තීය ජීවිතයේදී එක් වරක් පමණක් වූ සොයා ගැනීමකි. කිසිවෙකු එවැන්නක් සොයාගැනීමට අපේක්ෂා කළේ නෑ…

කැන්බරා කුඩා තැනක්. ඒ නිසා අපි තවමත් ජීවතුන් අතර සිටි පණුවා කෙලින්ම පරපෝෂිතයන් පිළිබඳ පළපුරුදු CSIRO විද්‍යාඥයෙකුගේ රසායනාගාරයට යැව්වා…” යන්නෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

පර්යේෂකයන් අනතුරු අඟවන්නේ සතුන්ගෙන් මිනිසුන්ට රෝග හා ආසාදන ඇතිවීමේ වැඩි අවදානමක් මෙම සිදුවීමෙන් ඉස්මතු කරන බවයි.

පසුගිය වසර 30 තුළ නව ආසාදන වර්ග 30 ක් දර්ශනය වී ඇති බව ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම වාර්තා කරන අතර එයින් හතරෙන් තුනක් සතුන්ගෙන් මිනිසුන්ට (zoonotic) පැන ඇති බෝවෙන රෝග බවද කියා සිටියි.

ඡායාරූප : ANU