ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගන්නා දිනට අපේක්ෂකයන්ට STF ආරක්ෂාව

ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගන්නා දිනට අපේක්ෂකයන්ට STF ආරක්ෂාව

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා බාර ගන්නා ලබන 15 බ්‍රහස්පතින්දා මැතිවරණ කොමිෂන් සභාවට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාව යෙදවෙන බව එම කොමිසමේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

මේ අනුව, එම කලාපයට පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ 1500ක පමණ පිරිසක් යෙදවීමට නියමිතය.

මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව වෙනුවෙන් ඒ අවට ගොඩනැගිලි වලට ගුවන් හමුදා ස්නයිෆර් කණ්ඩායම්ද යෙදවෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව සඳහා එදින විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය පැවසීය.

මැතිවරණ කාර්යාලයට පැමිණෙන වාහන වෙනුවෙන් ඒ,බී,සී වශයෙන් බලපත්‍ර තුනක් නිකුත් කෙරෙන අතර අපේක්ෂකයන්ට නිකුත් කෙරෙන්නේ ඒ බලපත්‍රයයි.

එම බලපත්‍රයෙන් අපේක්ෂකයාට පමණක් සිය වාහනයෙන්ම මැතිවරණ කාර්යාලයට පැමිණීමට අවස්ථාව ලැබේ.

අපේක්ෂකයා සමග මැතිවරණ කාර්යාලයට පැමිණීමට නාම යෝජනා පත්‍රයට අත්සන් තබන තවත් දෙදෙනෙකුට පමණක් අවසර හිමි වේ.

මැතිවරණ අපේක්ෂකයන්ට මාර්ගයේ තදබදය හේතුවෙන් මැතිවරණ කාර්යාලයට නිසි වේලාවට පැමිණීමට නොහැකි වන්නේ නම් ඒ අයගේ සහායට වෙනම පොලිසිය යතුරුපැදි කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අපේක්ෂකයන් සමග පැමිණෙන ආධාරකරුවන්ට මැතිවරණ කාර්යාලයෙන් බැහැර ප්‍රදේශ කිහිපයක ස්ථාන වෙන් කෙරේ.

මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස් ප්‍රධානීන්, හමුදා ප්‍රධානීන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය 16 වැනිදා රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

මෙම තීරණ ගෙන ඇත්තේ එම සාකච්ඡාවේදීය.