ජ.වි.පෙ. විරෝධතාවක් වළක්වන්නැයි පොලිසිය ඉල්ලූ වාරණය ඉවතට

ජ.වි.පෙ. විරෝධතාවක් වළක්වන්නැයි පොලිසිය ඉල්ලූ වාරණය ඉවතට

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයට සම්බන්ධ රජයේ සංවර්ධන නිලධාරි සේවා සංගමය ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් කොළඹ විද්‍යා මාවත “ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය” ඉදිරිපිට අද (13) දහවල් සංවිධානය කර ඇති විරෝධතාවය හා උද්ඝෝෂණය වළක්වන වාරණ ආඥාවක් නිකුත් කරන ලෙස කුරුඳුවත්තවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රතික්ෂේප කළේය.

රාජ්‍ය සේවකයින්ගේ සහන කප්පාදු කිරීමට විරෝධතාවය පළකිරීම හා ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය හා උද්ඝෝෂණය සිදුකිරීමට නියමිත බවත්,එමගින් කොළඹ අවට විද්‍යා මාවත ඇතුළු ප්‍රධාන මාර්ගයන් හී ජනතාවට සිදුවන බාධාවන් වැළැක්වීම සඳහා උද්ඝෝෂණය වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීම මෙසේ ප්‍රතික්ෂේප කෙරිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය මගින් යටපත් කළ නොහැකි බවට සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

අදහස් ප්‍රකාශ කිරීම පුද්ගලයින්ට අනන්‍ය වූ අයිතියක් බවට පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා වාරණාඥාවක් නිකුත් කිරීමට තරම් හදිසි අවශ්‍යතාවක් ඇති බවට පොලිසිය කරුණු ඉදිරිපත් කර නොමැති බවද සඳහන් කළේය.

මෙම උද්ඝෝෂණය මගින් රාජ්‍ය ආරක්ෂාවට, සෞඛ්‍යයට හෝ අන්‍ය අයිතීන් උල්ලංඝනය වන බවට කරුණු ඉදිරිපත් වී නොමැති බවද බවද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය .

Share This