ජනපති සහ බටහිර ඔස්ට්‍රේලියානු අගමැති රොජර් කුක් අතර හමුවක්
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08) පස්වරුවේ පර්ත් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය.
ඉන්දියා පදනමේ සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්ව සිටින අතර හත්වැනි ඉන්දීය සාගර සමුළුව අද (09) සහ හෙට (10) ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී පැවැත්වේ.
“ස්ථාවර සහ තිරසර ඉන්දියානු සාගරයක් කරා” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුවේ ප්‍රධාන දේශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (09) සිදු කිරීමට නියමිතය.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බටහිර ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය රොජර් කුක් (Roger Cook) මහතා අතර හමුවක් ද ඉන්දීය සාගර සමුළුවට සමගාමීව අද (09) පර්ත් නුවරදී සිදු විය.
ශ්‍රී ලංකාව සහ බටහිර ඕස්ට්‍රේලියාව අතර පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්රයන්ට අදාළ සහයෝගීතාව ඉහළ නංවා ගැනීම මෙන්ම ශ්‍රී ලංකාව සහ පර්ත් නුවර අතර සෘජු ගුවන් සේවා සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය රොජර් කුක් මහතා මෙහිදී සිය කැමැත්ත පළ කළේය.
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ පවතින විභවයන් පිළිබඳ විස්තර කරමින් ශ්‍රී ලංකාව සිය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවීකරණ වැඩපිළිවෙළ පිළිබඳව කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා මෙම ක්ෂේත්රයේ ආයෝජන දිරිමත් කරන ලෙස බටහිර ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා වෙත ආරාධනා කළේය.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව පවතින ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බලන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය රොජර් කුක් මහතාට ඇරයුම් කළේය.
මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග් (Penny Wong) මහත්මිය අතර හමුවක් ද මීට සුළු මොහොතකට පෙර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.