කෝපා කමිටුවේ දී රේගුව කොටුවෙයි

කෝපා කමිටුවේ දී රේගුව කොටුවෙයි

ශ්‍රී ලංකා රේගුවේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් කෝපා කමිටුවේදී අනාවරණය වී තිබේ.

මේ පිළිබඳ අනාවරණය වූයේ ශ්‍රී ලංකා රේගුවේ 2019, 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාරයසාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (17) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී නැගෙනහිර පළාතේ ජල සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් විසින් ගෙන්වූ ගුදම් නිදහස් කිරීමේදී ව්‍යාජව සැකසූ දේශීය තොරතුරු ඉදිරිපත් කිරීම මගින් අදාළ ආයතනයට සැලසුණු මූල්‍ය වාසිය පිළිබඳ කෝපා කමිටුවේ අවධානය යොමු විය.

මේ අනුව අදාළ පෞද්ගලික ආයතනය ඇ.ඩො. 5,139,621 ක් ලෙස ගුදම්ගත කර තිබූ භාණ්ඩ නිදහස් කිරීමේදී දේශීයව සැකසූ ව්‍යාජ ලේඛන මගින් ඇ.ඩො. 6,350,364 ක් ලෙස වටිනාකම දක්වා ඇ.ඩො. 1,210,743ක් අදාළ ආයතනයට වැඩි පුර ලබාගැනීමට අවස්ථාව ලබා දී තිබුණි.

මේ අනුව මේ සම්බන්ධයෙන් මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස කෝපා කමිටුව නිර්දේශ කරන ලදි.

එසේම ශ්‍රී ලංකා රේගුව නව තාක්ෂණය හඳුන්වාදීමේ තත්ත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. මේ අනුව පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විට “අසිකුඩා” නම් පද්ධතියක් දත්ත පවත්වාගෙන යාමට භාවිතා කරන බවත් එය රැමිස් පද්ධතිය හා සම්බන්ධව පවතින බවත්ය. එසේම නව තාක්ෂණ පද්ධතියක් ඉදිරියේදී හඳුන්වාදීමට කටයුතු කරන බවත්ය.

තවද රේගු ආඥා පනත සංශෝධනය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳවද මෙහිදී අවධානය යොමුවූ අතර පැමිණි නිලධාරීන් සඳහන් කළේ 2024 ජනවාරි මස මේ සම්බන්ධයෙන් වන සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

එසේම නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල් අගුරු ගෙනඒමේදී නිවැරදි තොරතුරු අනාවරණය නොකිරීම හේතුවෙන් අඩුවෙන් අයකර තිබූ රු. මිලියන 187 කට ආසන්න වැට් බද්ද නැවත අයකරගැනීමට සිදු කළ රේගු විමර්ශනයෙන් වැට් බද්ද අතිරේක බද්දක් ලෙස අයකර නොගෙන රු. මිලියන 205ක දණ්ඩනයක් පනවා එම ලැබුණු මුදලෙන් 70%ක් නිලධාරීන්ගේ ත්‍යාග හා සුභසාධන වෙනුවෙන් වෙන්කිරීම පිළිබඳ කමිටුව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ලදි. මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කොට මෙවැනි කරුණු නැවත නොවන ආකාරයේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට මේ වන විට සාකච්ඡා ආරම්භ කොට ඇති බවයි.

රේගු නිලධාරීන් සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් අඟිලි සලකුණු සටහන් යොදාගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා සිදු වූ අතර නිලධාරීන් පෙන්වා දුන්නේ ඉතාමත් රහසිගත මෙහෙයුම් සිදු කිරීමේදී සහ ප්‍රායෝගික තත්ත්වයේදී ඇතැම් මෙහෙයුම් සිදු කිරීමේදී ඇගිල සලකුණු සටහන් කිරීම අපහසු තත්ත්වයක් පවතින බවයි. මෙහිදී එවැනි වැදගත් මෙහෙයුම්වලදී ලිඛිත සටහනක් යෙදීමට අනෙකුත් සාමාන්‍ය රාජකාරීවලදී ඇඟිලි සලකුණ යෙදීමටත් කෝපා කමිටුව යෝජනා කළේය.

ආනයනය සහ අපනයනය කරන බහාලුම් පරීක්ෂා කිරීමට මිලදීගත් ස්කෑනර් යන්ත්‍රය මගින් අපේක්ෂිත සැලසුම්වලට ලඟාවීමට නොහැකිවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. මේ අනුව මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් කෝපා කමිටුවට ලබා දෙන ලෙස කමිටුව නිර්දේශ කළේය.

එසේම රේගුව සන්තකයේ ඇති නිදහස් නොකළ වාහන සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.