ගාසා නගරයේ අල් ෂිෆා රෝහලෙන් අවි ආයුධ සහ උපකරණ රැසක් සොයාගනී
ගාසා තීරයේ අල් – ෂිෆා රෝහලෙන් හමාස් සංවිධානයට අයත් ආයුධ සහ උපකරණ සොයාගත් බව ඊශ්‍රායල හමුදාව පවසයි.
වීඩියෝ පටයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර සිටි බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඊයේ දිනයේ දී ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ප්‍රධාන රෝහලේ මෙහෙයුමක් දියත් කළ අතර එය විස්තර කළේ, හමාස්ට එරෙහිව සිදුකෙරෙන ඉලක්කගත මෙහෙයුමක් ලෙසිනුයි.
හමාස් සංවිධානය රෝහල යටතේ ඇති උමං මාර්ගවල අණදෙන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට ඊශ්‍රායලය චෝදනා කරන අතර එක්සත් ජනපදය පවසන්නේ මේ සඳහා සහාය දක්වන බුද්ධි අංශ තොරතුරු තමන් සතුව ඇති බවයි.
හමාස් සංවිධානය මෙය ප්‍රතික්ෂේප කරන අතර රෝගීන් සහ කාර්ය මණ්ඩලය සමග සිවිල් වැසියන් සිය ගණනක් එහි නවාතැන් ගෙන සිටින බැවින් රෝහල වැටලීම යුද අපරාධයක් බවයි පවසන්නේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ගාසා තීරයේ දිගු කරන ලද මානුෂීය විරාමයක් සහ සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා යෝජනාවක් සම්මත කර තිබේ.
ධවල මන්දිරය සිවිල් වැසියන් ආරක්ෂා කළ යුතු බව පවසන අතර එක්සත් ජාතීන්ගේ මානුෂීය ප්‍රධානියා පවසන්නේ රෝහල් යුද පිටියක් නොවන බවයි
හමාස් සංවිධානයෙන් ඔක්තෝබර් 7 එල්ලවූ ප්‍රහාරයෙන් 1200ක් පමණ පිරිසක් මිය ගොස් 200කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගැනුණි.
ඉන් පසුවයි, ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරනු ලැබුවේ.
හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, ගාසා තීරයේ 4,500 කට වැඩි ළමුන් පිරිසක් ඇතුළුව 11,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.