දක්ෂිණ අධිවේගයේ ගමනාගමනය යථා තත්වයට පත් කිරීම අවසන් අදියරේ

දක්ෂිණ අධිවේගයේ ගමනාගමනය යථා තත්වයට පත් කිරීම අවසන් අදියරේ

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (12) පෙරවරුවේ ඉමදූව නාය ගිය ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා එහි සංචාරයක නිරත විය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ද මෙම සංචාරයට එක්ව සිටියහ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර මාර්ගයට පෙරේදා රාත්‍රියේ පස් කන්දක් කඩාවැටීමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වීය.

අඛණ්ඩව ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී එදිනෙදා ජනජීවිතයට මහත් බාධා පමුණුවමින් විශාල ලෙස දේපළ හානි සිදුව ඇති පසුබිමක අධිවේගී මාර්ගයට පස් කන්දක් කඩා වැටි ගමනාගමනයට බාධා ඇති වූ ස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක් වූ රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ විශේෂඥ දැනුම යොදාගනිමින් අධිවේගී මාර්ගය වාහන ගමනාගමනයට සුදුසු පරිදි සකස් කිරීමට කඩිනමි පියවර ගන්නා ලෙස යුද හමුදා නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

තවද, විපතට පත් ප්‍රජාවන්ට සහන සැලසීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා ආපදා කළමනාකරණ නිලධාරීන්හටද උපදෙස් ලබා දෙන ලදි.

අධිවේගී මාර්ගය සුදුසු පරිදි සකසන්න කඩිනම් පියවර ගන්න -ආරක්ෂක රාජ්‍ය ඇමතිගෙන් යුද හමුදාවට උපදෙස්-