පාසල් දරුවන්ගෙන් 15%කට දුර නොපෙනීමේ ගැටළු

පාසල් දරුවන්ගෙන් 15%කට දුර නොපෙනීමේ ගැටළු

පාසල් දරුවන්ගෙන් සියයට 15ක් දුර නොපෙනීමේ රෝගයෙන් පෙළෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හිරන්‍ය ගුණසේකර මහතා පැවසීය.

දරුවන්ට තිබෙන අක්ෂි රෝග සම්බන්ධයෙන් මවුපිය වැඩිහිටියන් සහ පාසල් ගුරුවරුන් විමසිලිමත් විය යුතු බවත් කිසියම් දරුවකු යම් අක්ෂි රෝගයකින් පෙළෙන්නේ නම් වහාම ප්‍රතිකාරවලට යොමු කළ යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ලෝක දෘෂ්ටි දිනය නිමිත්තෙන් ජාතික අක්ෂි රෝහලේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (12) පැවසුවේය.

ඉතා ළඟ සිට රූපවාහිනිය නැරඹීම, ඇසට ඉතා ළං කර පොත්පත් කියැවීම, හිසරදය, නිතර ඇස් පොඩි කිරීම, අසාමාන්‍ය ලෙස හිස හරවා බැලීම යනාදී රෝග ලක්ෂණවලින් දරුවන් පෙළෙන්නේ නම් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

දියවැඩියා රෝගය නිසා ඇති වූ දුර්වලතාවක් නිසා හෝ ග්ලෝකෝමා රෝගයේ බලපෑම නිසා දුර නොපෙනීමේ රෝගී තත්ත්වයට පත්විය හැකිය.

දුර නොපෙනීමේ රෝගය අවිදුර දෘෂ්ටිකත්වය ලෙස හඳුන්වන අතර අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන දරුවන්ට බ්‍රේල් අකුරු පුවරුව හුරු කිරීම නොකළ යුතු බව අක්ෂි වෛද්‍යවරු පවසති.

ලෝකයේ මිලියන 128ක් පමණ අවිදුර දෘෂ්ටිකත්වයට (Low vision) පත්ව සිටිති.