දුම්රිය වර්ජනයට හේතුව දුම්වැටියක් නිසා ඇතිවූ ගැටුමක්

දුම්රිය වර්ජනයට හේතුව දුම්වැටියක් නිසා ඇතිවූ ගැටුමක්

දුම්රිය නියාමකවරයෙක් හා දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරීයෙකු අතර ඇතිවූ ගැටුමට හේතුව දුම්වැටියක් මුල්කරගත් කරුණක් බව වාර්තා වෙයි.

මෙම ගැටුම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති අතර ඒ අනුව ඊයේ දිනයේදී පමණක් දුම්රිය ගමන්වාර 78ක් අවලංගු වූයේය.

මේ හේතුවෙන් මගීන් දැඩි පීඩාවට පත්වූ අතර ඇතැම් දුම්රිය ස්ථානවල උණුසුම්කාරී තත්ත්වයක්ද ඇතිවිය. මේ වන විට අදාළ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණ සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ පරික්ෂා ආරම්භ කර තිබේ.

එසේම දුම්රිය ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් හමුදාව හා පොලීසියද කැඳවා තිබේ.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ දිනයේ දුම්රිය ගමන්වාට 100කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කෙරුණු අතර සේවය නිමවා නිවෙස්වලට ගමන් කිරීමේ බලාපොරොත්තුවෙන් පැමිණි කාර්යල සේවකයෝ මෙන්ම දුරබැහැරින් කොළඹ පාසල්වලට පැමිණි දරු දැරියන් ද දැඩි අපහසුතාවයට පත්ව සිටිනු දක්නට ලැබිණි.

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කර තිබූ අතර කළුතරින් පමණක් ගමන් ආරම්භ කරන දුම්රිය ගමන්වාර අටක් පමණ අවලංගු කර තිබු බව දුම්රිය ස්ථාන ආරංචි මාර්ග පවසයි.

ප්‍රධාන දුම්රිය මාර්ගයේ මෙන්ම පුත්තලම දුම්රිය මාර්ගයේ ද දුම්රිය රැසක් අවලංගු කර තිබුණි. ධාවනය වූ දුම්රිය වලට ගමන් කල නොහැකි මට්ටමට මගීන්ගෙන් පිරි ඉතිරි ගොස් තිබුණි.