ගාල්ල බන්ධනාගාරයේ මාරාන්තික බැක්ටීරියාවක්

ගාල්ල බන්ධනාගාරයේ මාරාන්තික බැක්ටීරියාවක්

ගාල්ල බන්ධනාගාරයේ කුෂ්ඨ රෝගයක් සමඟ උණ පැතිරීමේ අවදානමක් ඇති බවත්, මෙය මෙනින්ගොකොකල් නැමැති මාරාන්තික බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන්නක් බවත් කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ.

පසුගිය දින කිහිපයේ දී ගාල්ල බන්ධනාගාරයෙන් එවැනි රෝගීන් කිහිප දෙනකු වාර්තා වී ඇති අතර දැනට කරාපිටිය රෝහලට ඇතුළත් කළ මෙම රෝග ලක්ෂණ සහිත රැඳවියන් දෙදෙනකු මියගොස් ඇත.

කරාපිටිය ශික්ෂණ රෝහලේ ඊයේ (21) සවස වනවිට තවත් රෝගීන් දෙදෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති. ඉන් එක් අයකු බන්ධනාගාරයෙන් නිදහස් වී දින කිහපයකට පසු අදාළ රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි ද වෛද්‍යවරු පවසයි.

මෙනින්ගොකොකල් බැක්ටීරියාව දරුවන්ට වඩාත් හානිකර බව වෛද්‍යවරු කියති. එමෙන් ම මත්ද්‍රව්‍ය භාවිත‍ය හේතුවෙන් සෞඛය තත්වය දුර්වල වූ පුද්ගලයන්ට ද මෙය මාරාන්තික බව වෛද්‍යවරුන්ගේ මතයයි.

ගාල්ල බන්ධනාගාරයේ සිට චර්ම රෝගී තත්වයක් සහ උණ හේතුවෙන් රෝහල්ගත කර මියගිය පුද්ගලයන් දෙදෙනාගේ මරණයට හේතුව මෙනින්ගොකොකල් බැක්ටීරියාව බවට සැකකරන බැවින් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට, එවැනි රෝග ලක්ෂණ ඇති රෝගීන් සමඟ කටයුතු කිරීමේ දී මුඛ ආවරණ පැළඳ සිටින ලෙස ද මේ වනවිට උපදෙස් ලබා දී තිබේ.

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උදේෂ් රංග මහතා කියා සිටියේ පසුගිය දින කිහිපයේ රෝහලේ සිදුවූ මරණවලට හේතුව පිළිබඳ තමන් වෙත මෙතෙක් අවසන් වාර්තා ලැබී නැති බවයි.

වෛද්‍යවරු ඒ පිළිබඳ අවසන් වාර්තා ලබාදුන් පසු සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් ලබාදිය හැකි බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වුව ද කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ට නිකුත්කර ඇති අභ්‍යන්තර පණිවිඩයකින් කියවෙන්නේ බන්ධනාගාරයේ දී රෝගාතුර වී මියගිය පුද්ගලයන් දෙදෙනාගේ මරණයට හේතුව මෙනින්ගොකොකල් බැක්ටීරියාව බවයි.