2024 T 20 ලෝක කුසලානයේ ජය ඉන්දියාවට

2024 T 20 ලෝක කුසලානයේ ජය ඉන්දියාවට

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඒ දකුණු අප්‍රිකාව සමග පැවති අවසන් මහා තරගය ලකුණු 7කින් ජය ගනිමිනි.

බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගනයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ඉන්දීය නායක රෝහිත් ශර්මා තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

ඒ අනුව ඉන්දියාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ නායක රෝහිත් ශර්මා සහ විරාත් කෝලි.

රෝහිත් ශර්මා ඉන්දීය පළමු කඩුල්ල ලෙස ලකුණු 9කට දැවී ගියේ ය.

රිෂාබ් පාන්ට් ලකුණු රැස් කිරීමට පෙර දවා ගත්තේද කේෂව් මහරාජ්.

ප්‍රවේගකාරී පිතිකරු සූර්යකුමාර් යාදෙව් ලකුණු 3යි.

විරාත් කෝලි සමග එක් වූ අක්සාර් පටේල් බිඳ වැටුණු ඉන්දීය ඉනිම ගොඩනැගූහ.

ඒ, සිව්වැනි කඩුල්ලට ලකුණු 72ක සබඳතාවක් එක් කරමිනි.

අක්සාර් පටේල් ලකුණු 47යි.

තරගාවලිය පුරා අසාර්තක පිතිකරුවෙක් වූ විරාත් කෝලි අවසන් මහා තරගයේදී පන්දු 59කින් ලකුණු 76ක් රැස් කළේ ඉන්දීය ජයග්‍රහනයේ කොඳු නාරටිය බවට පත්වෙමින්.

කේෂව් මහරාජ් සහ අන්රියාහ් නෝකියා කඩුලු 2 බැගින් දවාගත්හ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 176ක්.

දකුණු අප්‍රිකා පිළිතුරු ඉනිමේ මුල්පෙළ කඩුලු 3 බිඳ වැටුණේ ලකුණු 70කදී.

නායක ඒඩ්න් මාක්‍රාම් ලකුණු 4යි

ක්වින්ටන් ඩි කොක්ට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 39ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ හෙන්රිච් ක්ලාසන් ලකුණු 52ක් රැස් කළද, ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය.

හර්දික් පාන්ඩ්‍යා කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 20ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි.

ලකුණු 177ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 169ක් පමණයි.

ඒ අනුව දෙවැනි වරටත් පන්දුවාර 20යි 20 ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම හැකිවිය.

Share This