“විශ්ව බුද්ධි මුනි” ට ඇප

“විශ්ව බුද්ධි මුනි” ට ඇප

බුදු දහමට නිගා වන අයුරින් “ටික් ටොක්” වීඩියෝ අන්තර්ජාලයට මුදාහල රත්නපුරේ විමල බුද්ධි නොහොත් “විශ්ව බුද්ධි මුනි” නමින් හඳුන්වාගත් චීවරධාරියා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (09) නියෝග කළේය.

සැකකරු කළේ යැයි කියන ප්‍රකාශය අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ (ICCPR) තුන වගන්තියට ගැනෙන වරදක් බවට අනාවරණය නොවන හෙයින් සැකකරුට ඇප ලබාදෙන බවට සඳහන් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම පනත යටතේ ඇප ලබා දුන්නද ආගමට අපහාසයක් කිරීම සම්බන්ධයෙන් දණ්ඩන නීති සංග්‍රහය යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් නඩුව පවරා පවත්වාගෙන යෑමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් ඇති බවට දන්වා සිටියේය.

සැකකරුට එරෙහිව මුදල් විසුද්දී කරන පනත යටතේ නඩුව පවරා පවත්වාගෙන යෑමට අදහස් කර ඇති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුගේ බැංකු ගිණුමට පසුගිය මාස 10 ඇතුළත රුපියල් මිලියන තුනක මුදලක් බැර වී ඇති බවට සඳහන් කළේය.

සැකකරු ආගම් අතර වෛරයක් ඇතිවෙන පරිදි අන්තර්ජාතික සිවිල් අයිතිවාසිකම් සම්මුති පනතේ සඳහන් වරදවල් කර නොමැති බව මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය මගින් පෙන්වා දුන්නේය.

2007 අංක 56 දරණ සිවිල් හා අයිතිවාසිකම් සම්මුති පනතේ තුන එක වගන්ති යටතේ හා දණ්ඩ නීති සංග්‍රහය 290, 291 වගන්තිය යටතේ වරදවල් සිදු කිරීමට එරෙහිව සැකකාර හිමි දෙසැම්බර් 13 වෙනි දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

පැමිණිල්ල නැවත මාර්තු මස 27 වනදා කැඳවීමට නියමිතයි.