විජයදාසට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

විජයදාසට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමට අදාළ නඩුව විභාග කිරීමෙන් තමා ඉවත් වන බව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන අද (27) නිවේදනය කළේය.

අමාත්‍යවරුන් වූ ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක විසින් ගොනු කළ මෙම නඩුව අද කැඳවනු ලැබු අවස්ථාවේදී දිසා විනිසුරු සඳුන් විතාන සඳහන් කළේ තමා මේ හා සමාන තවත් නඩුකරයක් විභාග කරන බැවින් මෙම නඩුව කොළඹ දිසා අධිකරණයේ අංක 07 අධිකරණ ශාලාවේ විනිසුරු වරයා වෙත යොමු කරන බවයි.

ඉන් අනතුරුව කොළඹ දිසා අධිකරණයේ අංක 07 ශාලාවේ අතිරේක දිසා විනිසුරු වරයා ඉදිරියේ මෙම නඩුව කැඳවන ලදී.

එහිදී මෙම නඩුවට අදාල විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වග උත්තරකාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ඒ අනුව අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදුන් විනිසුරුවරයා නඩුව නැවත ජුනි මස 27 වනදා කැඳවන ලෙස නියෝග කළේය.

ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය තවදුරටත් ලබන 27 වනදා දක්වා දීර්ඝ කරන ලෙසත් විනිසුරු වරයා නියෝග කළේය.