විජයදාස ට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

විජයදාස ට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම සහ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීම වළක්වමින් නිකුත්කර තිබූ වාරණ නියෝගය ලබන 25 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (11) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් එම පක්ෂයේ සරත් ඒකනායක, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, වැඩ බලන මහ ලේකම් ලෙස පත් වූ කීර්ති උඩවත්ත සහ අනුශාසක මෛත්‍රිපාල සිරිසේන මහත්වරුන්ට එරෙහිව මැයි මස 28 වන දින පැවරු නඩුව කැදවීමෙන් පසුව මෙම වාරණ නියෝග දීර්ඝ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත් කිරීම, වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක සහ සභාපති නිමල් සිරිපාද සිල්වා මහත්වරුන්ගේ පක්ෂ කටයුතුවලට බාධා කිරීම වළක්වමින් නිකුත් කළ වාරණද දීර්ඝ කිරීමට අතිරේක දිසා විනිසුරුවරයා නියෝග කළේය.

Share This