පිළියන්දල නිවසකින් ගිනි අවි සහ උණ්ඩ සොයා ගනී
පරිසරවේදියෙකු ලෙස ක්‍රියා කළ දැනට මියගොස් සිටින පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවසේ තිබී ටී 56 ගිනි අවියක්, මැගසින් 4 ක්, ජීව උණ්ඩ 116 ක්, මෝටාර් උණ්ඩයක් සොයාගත් බව කැස්බෑව පොලිසිය පවසයි.
එම පරිසර වේදියාගේ පුත්‍රයා විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඔහුගේ පිළියන්දල පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී මෙම ආයුධ තොගය සොයාගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී ඇත.
ඒ අනුව, පිළියන්දල පිහිටි ඔහුගේ නිවසේ උඩුමහලේ සොල්දොර තට්ටුවේ යන්ත්‍රෝපකරණ කාමරය පරීක්ෂා කිරීමේදී එම ආයුධ තොගය හමු වී ඇති බව පොලිසිය පවසයි.
එහිදී අංක මකාදමන ලද ටී පනස් හය ස්වයංක්‍රීය ගිනි අවියක්, මළ බැඳී තිබූ ටී පනස් හය මැගසින් හතරක්, T 56 ජීව උණ්ඩ අනූ හයක්, ට්‍රසර් උණ්ඩ විස්සක්, බලපත්‍රය කල් ඉකුත් වූ බෝර දොළහ වර්ගයේ ගිනි අවියක්, මෝටර් උණ්ඩයක් පොලිසියට හමුවී ඇත.
එම ආයුධ තොගය එම ස්ථානයට පැමිණියේ කෙසේද යන්න පිළිබඳවත්, කිසිවෙකු විසින් එම ආයුධ තොගය මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇත්දැයි යන්න පිළිබඳවත් විමර්ශන සිදුකිරීමට නියමිත අතර මේ වන විට කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිසිය පවසයි.