වැලිකඩ පොලිස් භාරයේදී මියගිය තරුණයාගේ විමර්ශන සීඅයිඩියට

වැලිකඩ පොලිස් භාරයේදී මියගිය තරුණයාගේ විමර්ශන සීඅයිඩියට

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය

මෙලෙස මියගොස් තිබුණේ, බදුල්ල මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි සත්සර නිමේෂ් නමැති 26 හැවිරිදි තරුණයායි.

ඉකුත් 01 වෙනි දින මෙම තරුණයාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ, නාවල ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළු වීම සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය හරහා ලද පණිවිඩයක් අනුවය.

පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව එම තරුණයා කළහකාරී ලෙස හැසිරුණු බව පවසමින් පොලිසිය විසින් තරුණයාව මානසික රෝහල වෙත යොමු කර තිබූ අතර එයින් පැය කීපයකට පසු තරුණයා මියගොස් තිබිණි.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් නිලධාරීන් ක්‍රියා කළ ආකාරය සහ රෝහල් ගත කිරීමෙන් පසු සැකකරු මියයාමේ සිදුවීම සම්බන්ධව වැඩ බලන පොලිස්පතිතුමාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම විමර්ශන පවරා ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.