වේග බට්ටාට වෙඩි තැබීමේ සිද්ධියට අවුරා සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයා අත්අඩංගුවට

වේග බට්ටාට වෙඩි තැබීමේ සිද්ධියට අවුරා සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයා අත්අඩංගුවට

වැලිවේරිය පොලිස් වසමේ මොටර් රියක ගමන් ගනිමින් සිටියදී පුද්ගලයකුට වෙඩ තැබීමට පැමිණි කුලී වෙඩික්කරුවන් සඳහා තම යතුරුපැදිය ලබා දී වෙඩි තැබීමට ආධාර උපකාර දුන් මීගමුව ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වූ අවුරා සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයා ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් මස 05 වැනිදා වැලිවේරිය ජුබිලි මාවතේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි ගම්පහ මාදැල් ගමුවේ පදිංචි නුවන් රන්ජන් හෙවත් වේග බට්ටා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි තැබීමේ සිද්ධියට යතුරුපැදිය ලබා දී තිබුණේ මෙම ගායකයා විසිනි.

මෙම ගායකයා විදෙස්ගතව සිටින කිරි කොල්ලා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් සිදුකරන පාතාල නායකයාගේ සමීපතමයෙක් බව හෙළි වී තිබේ.

මෙම ගායකයා මීගමුව, අක්කර 50, සමෘද්ධිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.

‘කිරි කොල්ලා’ ගේ උපදෙස් මත අත්අඩංගුවට පත් සැකකරු නාඳුනන පුද්ගලයන් දෙදෙනා වෙත යතුරුපැදිය භාරදී ඇති බව පොලිසිය පවසයි.

යතුරුපැදියභාර ගත් පුද්ගලයන් දෙදෙනා වෙඩික්කරුවන් බවට හඳුනාගෙන සිටියේ නොමැති බවට මෙම ගායකයා ප්‍රකාශයක් ලබාදී ඇතැයි ද තමන් භාවිතා කළත් එම යතුරුපැදිය තමන් සන්තකයේ තිබුණ ද කිරි කොල්ලාට අයත් එකක් බව ද උක්ත සැකකාර ගායකයා පොලිසියට පවසා ඇත.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරුව වැලිවේරිය පොලිසිය වෙත ඊයේ (03දා) භාර දුන් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.