උස් ප්‍රදේශවලට බවුසර් මඟින් මුර ක්‍රමයට පානීය ජලය

උස් ප්‍රදේශවලට බවුසර් මඟින් මුර ක්‍රමයට පානීය ජලය

මේ දිනවල පවතින වියළි හා අධික උෂ්ණාධික කාලගුණික තත්ත්වය හමුවේ සිදුකෙරෙන අධික ජල පරිභෝජනය හේතුවෙන් බෙදා හැරීමේ පද්ධතියේ අඩු පීඩන තත්ත්වයක් හෝ උස් බිම් ප්‍රදේශවල ජල සැපයීම් බිඳ වැටීම් වරින්වර සිදුවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

එලෙස ජල සැපයුම දෛනිකව සැළකිය යුතු කාලයක් අඩාල වන බවත්, මණ්ඩලය මඟින් හඳුනා ගත් උස් ප්‍රදේශවල පදිංචි පාරිභෝගිකයින් සඳහා බවුසර් මඟින් සහ මුර ක්‍රමය යටතේ ජලය ලබාදීමට ද කටයුතු සලසා ඇති බවත් එම මණ්ඩලය පවසයි.

මෙම තත්ත්වයන් අවම කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලදී ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් ගෙවතු අලංකාර හා වාහන සේදීම වැනි අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා නළ මඟින් ලබාදෙන පානීය ජලය භාවිතය අවම කරන ලෙසත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

එමඟින් බෙදා හැරීමේ පද්ධතියේ ජල පීඩනය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ඇති බවත් හදිසි අවස්ථාවන්ට මුහුණදීම සඳහා පෙර සූදානමකින් සිටින ලෙසද එම මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.