සමාජ මාධ්‍යයේ යන ඡායාරූපයක් ගැන ජල සම්පාදනයෙන් පැහැදිලි කිරීමක්

සමාජ මාධ්‍යයේ යන ඡායාරූපයක් ගැන ජල සම්පාදනයෙන් පැහැදිලි කිරීමක්

තායිලන්තයේ ඉවත් කරන ලද පැරණි ජල නළයක ඡායාරූපයක් භාවිත කරමින් ජල පාරිභෝගිකයින් නොමඟ යැවීමට සහ බියට පත් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සඳහන් වන්නේ, සමාජ මාධ්‍යවල සහ වෙබ් අඩවිවල අභ්‍යන්තර පෘෂ්ටයේ ලවණ තැන්පත් වීමෙන් දුර්වර්ණ වී සහ අවහිර වී ඇති ජල නලයක ඡායාරූපයක් ප්‍රදර්ශනය කරමින් එය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සතු නළ පද්ධතියට අයත් බව හඟවමින් අසත්‍ය තොරතුරු ජනගත කිරීමට උත්සහ කරන ආකාරය දක්නට ලැබෙන බවයි.

එසේම එවැනි ජල නළයක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය භාවිතා නොකරන අතර එය තායිලන්තයේ පැරණි ජල නළයක් වී ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට පැමිණෙන සම්ප්‍රේෂණ නළය හදිසි අනතුරකින් පුපුරා යාම නිසා ඇතිවූ ආපදා තත්ත්වය පසුබිම් කරගෙන මෙම ප්‍රවෘත්තිය පලකළ බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අවධාරණය කරයි.

ඇතිවූ හදිසි ජාතික ආපදාවකදී සිය මාධ්‍ය ජාලවල නැරඹුම් සංඛ්‍යාව ඉහළ දැමීමට දරණ මෙම සදාචාර විරෝධී උත්සාහයන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය හෙළා දකින බවත්, මෙවැනි අසත්‍ය තොරතුරු නිසා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ලබාදෙන පිරිසිදු ජලය පිලිබඳ කිසිදු අනියත බියක් ඇතිකර නොගත යුතු බව ඔවුන් දැනුම් දෙයි.

 

Share This