වාහන කිහිපයක් ආනයනයට කැබිනට් අනුමැතිය

වාහන කිහිපයක් ආනයනයට කැබිනට් අනුමැතිය

විදේශ විනිමය වෙළඳපොළ මත ඇතිව තිබෙන පීඩනය ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ඉදිකිරීම් වාහන සහ ගිලන් රථ හැර මෝටර් රථ ආනයනය කිරීම රජය විසින් මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇත.

කෙසේ වුවද, ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ භාවිතය සඳහා රෑම්ප් රථ 03ක් ආනයනය කිරීමට, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මඟින් පරිත්‍යාග කරන ලද ජංගම මාතෘ ඒකක 03ක් හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මඟින් සපයනු ලබන ද්විත්ව කැබ් රථ 21ක් ලබා ගැනීමට, රැකියා බලපත්‍ර ක්‍රමය ස්ථාපිත කිරීමේදී ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර එළඹි ගිවිසුම අනුව කොරියානු අරමුදල් ව්‍යාපෘතිය සඳහා සපයනු ලබන මෝටර් රථයක් ලබා ගැනීමට සහ ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් සැපයෙන විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය සඳහා බස් රථ 02ක් සපයාගැනීමට පිළිවෙළින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සඳහා අනුමැතිය ලබා දීමට 2023-12-11 දින අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇත.

ඒ අනුව, එකී මෝටර් වාහන ආනයනය කිරීමට හැකි වන පරිදි, අංක 2366/19 දරන 2024-01-11 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ සාදන ලද 2024 අංක 01 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.