
රජයේ කොන්දේසිවලට පිටින් හොර දින යෙදූ වාහන 150ක් ගෙන්වන බවට අනාවරණයක්!
වාහන ආනයනයේදී 2023 වසරේ ජනවාරි මස 15 වැනිදායින් පසු නිෂ්පාදනය කළ වාහන පමණක් ආනයනය කරන ලෙස පනවා ඇති කොන්දේසිය උල්ලංඝණය කරමින් එක්තරා සමාගමක් 2022 වසරේ නිෂ්පාදනය කළ වාහන ආනයනය කිරීමේ සූදානමක් ඇති බව ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ඇසෝසියේෂන් ඉන් ජැපෑන් සංගමය මෙරට ආනයනය අපනයන පාලක ජනරාල්වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් කර තිබේ.
ජපානයේ වාහන සඳහා තත්ව සහතික නිකුත් කරන ඒජන්සි තුනට අදාල ආනයනකරු ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහනවල 2023 වර්ෂයේ මාසයක් යොදන ලෙස බලපෑම් කරන බවත් එසේ ව්‍යාජ දින යොදා වාහන 150 ක් පමණ ජපානයෙන් මෙම සතියේදී මෙරටට ගෙන්වීමට නියමිත බව ද එම ලිපියේ සඳහන් වේ.
වාහන ආනයනයට අදාලව රජය නිකුත් කළ රෙගුලාසි අනුව 2023 වසරේ ජනවාරි මස 15 වැනිදායින් පසු නිෂ්පාදනය කළ වාහන පමණක් මෙරටට ආනයනය කළයුතු වුවද එක්තරා සමාගමක් සූක්ෂම ලෙස 2022 වසරේ නිෂ්පාදිත වාහන මෙරටට ආනයනය කිරීම සඳහා ජපානයේ වාහන තත්ව සහතික නිකුත් කරන සමාගම් තුනකට බලපෑම් කරන බවත් වාහනවලට ව්‍යාජ නිෂ්පාදන දින යොදා මෙරටට ආනයනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් එම සංගමයේ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙවැනි ආකාරයෙන් බලපෑම් කිරීම නීති විරෝධී කටයුත්තක් බැවින් එය රජයේ රෙගුලාසි උල්ලංඝණය කිරීමක් බවත් ව්‍යාජ ලේඛණ මත ආනයනය කරන වාහන මෙරට වෙළෙඳපොලට ගෙන්වීමට අවස්ථාව නොදියයුතු බවත් ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ඇසෝසියේෂන් ඉන් ජැපෑන් සංගමය පවසයි.
එබැවින් මෙම වාහන නැවත අපනයනය කරන ලෙස සංගමය ඉල්ලා සිටියි.
තායිලන්තයෙන් පළමු වාහන කාණ්ඩය මේ මාසයේ පැමිණීමට අපේක්ෂා කරන අතර ජපානයෙන් පළමු නැව්ගත කිරීම ලබන මාසයේ මැද භාගයේදී සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ඇසෝසියේෂන් ඉන් ජැපෑන් සංගමය සඳහන් කරයි.
මූලික නැව්ගත කිරීමේදී ජපානයෙන් වාහන 2,000 කට ආසන්න සංඛ්‍යාවක් ආනයනය කිරීමට අපේක්ෂා කරන බව සංගමය පවසයි.