රාජිතගේ සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවේ නඩුව කල් යයි

රාජිතගේ සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවේ නඩුව කල් යයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවෙන් විත්තිවාචිකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස කෙරුණු ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 24 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද (04) නිවේදනය කළේය.

2019 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යාම පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුළු දෙදෙනෙකුට චෝදනා එල්ල විය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා සඳහන් කළේ විත්තිකාර රාජිත සේනාරත්න මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් ව ඇති නිසා විත්තිවාචකය කැඳවීමෙන් අනතුරුව මෙම නඩුව සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දෙන ලෙසයි.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්ති වාචකය කැඳවීමකින් තොරව විත්තිකරු නිදොස් කොට නිදහස් කරන්නේද? නැද්ද? යන නියෝගය ලබන 24 වනදා ප්‍රකාශයට පත් කරන බව නියෝග කළේය.

2019 වසරේ නොවැම්බර් 10 වැනිදා කොළඹ දී සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යෑම පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම චෝදනා එල්ල කර තිබුණි.