වයඹ පාසල් ගුරුවරුන්ට ටියුෂන් තහනමක්

වයඹ පාසල් ගුරුවරුන්ට ටියුෂන් තහනමක්

වයඹ පළාත් පාසල් වල ගුරුවරුන්ට තම පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කරමින් පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මෙම චක්‍රලේඛය 2024.01.01 දින ක්‍රියාත්මක කරන බව වයඹ ප්‍රධාන අමාත්‍යාංශ සහ වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නයනා කාරියවසම්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්වේ.

වයඹ පළාත් පාසල් වල සියළුම විදුහල්පතිවරුන් වෙත එය මේ වනවිට නිකුත් කර ඇති බවද, එම චක්‍රලේඛය කඩ කරමින් කටයුතු කරන ගුරුවරුන් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව නොපමාව පියවර ගැනීමට සිදු වන බවද එම නිවේදනයෙහි සඳහන් කර ඇත.

මෙම චක්‍රලේඛය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ වගකීම විදුහල්පතිවරුන් වෙත පැවරෙන බවද එහි සඳහන්ය.

ඇතැම් ගුරුවරුන් තමන් පවත්වනු ලබන පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ සඳහා සහභාගි නොවන තමන් ඉගැන්වීම් කටයුතු කරන පන්ති වල සිටින සිසුන්ව නොසළකා හරිමින් විවිධ මානසික පීඩාවන්ට ලක් කරන බවට දෙමාපියන්ගෙන් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන වයඹ පළාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ උපදෙස් අනුව මෙවැනි තීරණයක් ගැනීමට සිදුවූ බව නයනා කාරියවසම් තම නිවේදනය මඟින් කියා සිටී.

Share This