ගල් කුට්ටි කිහිපයක් ඇඟ මතට පෙරළී දුම්රිය නිලධාරින් 5ක් රෝහලට

ගල් කුට්ටි කිහිපයක් ඇඟ මතට පෙරළී දුම්රිය නිලධාරින් 5ක් රෝහලට

උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල සහ කිණිගම දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු වල නිරතව සිටි දුම්රිය නිලධාරීන් පිරිසක් මතට දුම්රිය මාර්ගයට ඉහලින් පිහිටි ගල්කුට්ටි කීපයක් හදිසියේ කඩා වැටීමෙන් ඊට යටවු බණ්ඩාරවෙල දුම්රිය මාර්ග කොට්ඨාසයේ දුම්රිය නිලධාරීන් පස්දෙනෙකු ඊයේ (4) පස්වරුවේ බණ්ඩාරවෙල නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

මෙසේ දුම්රිය මාර්ග නඩත්තු රාජකාරියේ නිරතව සිටියදී මෙම සිද්ධියට මුහුණ පා රෝහල් ගත කර ඇත්තේ බණ්ඩාරවෙල දුම්රිය මාර්ග කොට්ඨාසයේ දුම්රිය මාර්ග අංශ ප්‍රධාන නිලධාරී, සහයක දුම්රිය මාර්ග අධීක්ෂණ කළමනාකරු, සහ දුම්රිය තාක්ෂණ සහයක ශිල්පීන් තිදෙනකු යැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය..

පවතින අධික වර්ෂාව පවා නොතකා බණ්ඩාරවෙල දුම්රිය මාර්ග කොට්ඨාසයේ නිලධාරීන් උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල සහ කිණිගම දුම්රිය ස්ථාන අතර සැතපුම් 162 දම්වැල් 47 දරණ ස්ථානයේ ගල් ඇක්ක පාලම ආසන්නයේ රාජකාරියේ නිරතව සිටියදී හදිසියේම දුම්රිය මාර්ගය ට ඉහලින් පිහිටි කන්දේ ගල් කුට්ටි කීපයක් එක්වරම පහළ දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති අතර ,ඒ සමගම මෙම නිලධාරීන් එම ගල් කුට්ටි වලට යටවී ඇතැයි එම දුම්රිය සේවකයන් පැවසූහ .

පසුව ඊට යටවු මෙම නිලධාරීන් පස්දෙනා ඒ අවට නිවසක සිටි පිරිසක් බේරාගෙන මෝටර් රථයකින් බණ්ඩාරවෙල නගරයේ පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇතුළත් කරනු ලැබූ බව දුම්රිය බළධාරීන් පැවසීය..

පසුව යලිත් වරක් දුම්රිය මාර්ගයේ එම ස්ථානයට ගල්කුට්ටි කීපයක් කඩා වැටී ඇති අතර , එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි සෙසු පිරිස එම අවස්ථාවේ බදුල්ල දෙසට ධාවනය වීමට නියමිත ව තිබූ දුම්රිය කල්වේලා ඇතිව නවතා ගෙන සිදු වීමට ගිය විශාල අනතුරක් වලකාගෙන ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය .

පසුව මොවුන් විසින් පැවති අධික වර්ෂාව මෙන්ම ජීවිත අවධානම ද නොතකා දුම්රිය මාර්ගය වහා පිළිසකර කර දුම්රිය ධාවනයට ඉඩ කඩ සලසා දුන් බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය .

Share This