තලතා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

තලතා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

පාර්ලිමේන්තුවේ දී සංවේදී කතාවක් සිදුකරමින් ඇය සඳහන් කර සිටියේ, එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම පිළිබඳව තමාගේ කැමැත්තක් නොමැති බවය.

“මෙම අවස්ථාව මට ඉතාම සංවේදී අවස්ථාවක්. එක පැත්තකින් අපේ දැවැන්ත මව් පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදිලා.

අපේ මව් පක්ෂයේ නායකයාත් හිටපු නියෝජ්‍ය නායකයාත් දෙන්නම දේශපාලන සතුරන් බවට පත්වෙලා.

ඒ දෙන්නම ජනාධිපති වෙන්න තරග කරනවා. අනෙක් හැමෝම එකතු වෙන්න උත්සාහ කරන මේ වගේ වෙලාවක අපේ කඳවුර බෙදිලා දෙන්නෙක් තරග කරන්න ගත්ත තීරණය සමග මගේ හෘද සාක්ෂියට එකඟව කොහෙත්ම එකඟ වෙන්න බෑ..

නායකයින් දෙදෙනා දෙපැත්තකට වී තරග කිරීමට ගත් තීරණය ආත්මාර්ථකාමී රටේ අනාගතය ගැන සිතා බලන්නේ නැතුව ගත් දේශපාලන තීන්දුවක් බව මගේ විශ්වාසයයි.

ඒ බව ඉතිහාසය විසින් නුදුරු දිනයක දී ඔප්පු කරයි. ඒ ගැන තවදුරටත් නිහඬව සිටියොත් මාත් ඒ පාපයට වක්‍රව හෝ දායකවූ අයෙක් බවට පත්වේවි.

ඒ නිසා මේ අතිශය සංවේදී කාරණය ගැන වහාම තීරණයක් ගත යුතුයි.

එසේම එය මාගේ හෘද සාක්ෂියට එකඟ තීරණයක් මෙන්න රත්නපුර ජනතාවට හා ඔවුන්ගේ අනාගතයට පටහැනි තීරණයක් නොවිය යුතු බව මාගේ විශ්වාසයයි.”

තලතා අතුකෝරල, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානියෙක් වූ ගාමිණි අතුකෝරල මහතාගේ සහෝදරිය වන අතර ඇය 2004 වසරේදී පළමුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.

එසේම 2010, 2015 සහ 2020 මහ මැතිවරණවලදී ඇය රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.

2020 වසරේදී ඇය රත්නපුර දිස්ත්‍රික්කයෙන් මනාප 45,105ක් ලබාගනිමින් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.