බදු නොගෙවූ මහා පරිමාණ සමාගම් 8 කට හෙට අනිද්දා නඩු?

බදු නොගෙවූ මහා පරිමාණ සමාගම් 8 කට හෙට අනිද්දා නඩු?

මහා පරිමාණයෙන් බදු පැහැර හරින ලද පෞද්ගලික සමාගම් 8 කට පමණ නඩු පැවරීමට පෙර අවසන් සිහි කැඳවීම කළ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවැසුවාය.

මෙසේ බදු පැහැර හරින ලද එම සමාගම් පසුගිය දිනවල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කැඳවා අදාළ බදු මුදල් ගෙවන ලෙස සිහි කැඳවීම් කළ නමුත් ඒවා නොකතා හරින්නේ නම් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ඇය පැවැසුවා ය.

නීතිමය කටයුතු සම්බන්ධ නිසා මෙම ආයතනවල නම් හෙළි කිරීමට නොහැකි බව ඇය කීවා ය.

මේ අතර, රුපියල් බිලියන 3.5ක වැට් බදු පැහැර හැරීමට චෝදනා ලද අර්ජුන් ඇලෝසියස්ගෙන් එම බදු මුදල් උසාවියේ ගිණුම් අංකයකට බැර කර ගැනීමට අදාළ කටයුතු උසාවියේ නීතිමය ක්‍රියාවලිය හරහා නුදුරේදී ම සිදුවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරිය පැවැසුවා ය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නඩු පැවරීම සිදු කරන නමුත් පැහැර හරින ලද වැට් බදු අය කර ගැනීම සම්බන්ධව උසාවියට බලය පැවරෙන බවත් ඒ අනුව අර්ජුන් ඇලෝසියස් පැහැර හරින ලදැයි චෝදනා ලැබූ එම මුදල ඉදිරියේදී උසාවියේ නීතිමය පටිපාටිය තුළ අය කෙරෙණු ඇති බව ත් ඒ මහත්මිය කීවාය.

මෙම බදු පැහැර හරින ලදැයි චෝදනා ලැබූ අය එම මුදල් ගෙවනවා ද යන්න රටේ ජනතාව බලා ගෙන සිටින බව ඇය පැවසුවාය.

මේ අතර, වැට් බදු පැහැර හරින ලදැයි චෝදනා ලැබූ මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ට කිසියම් පුද්ගලයෙක් ගෙවීමට ඇති ණයවලින්, ඇලෝසියස්ගේ බැංකුවල ඇති මුදල්වලින් හෝ ඔහුගේ දේපළ අත්පත් කර ගැනීමකින් උසාවි දඩ මුදලක් ලෙස රුපියල් බිලියන 3.5ක මුදල ලබා ගැනීමට දේශීය ආදායම් පනතට අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරියට නීති ප්‍රතිපාදන හිමි බව එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.