ජනාධිපතිවරණයේ දෙමළ පොදු අපේක්ෂකයා නම් කෙරේ

ජනාධිපතිවරණයේ දෙමළ පොදු අපේක්ෂකයා නම් කෙරේ

උතුරු – නැගෙනහිර දෙමළ පක්ෂ සහ සිවිල් සංවිධාන එකතුව නිර්මාණය කළ දෙමළ ජාතික මහා සන්ධානයෙන් ජනාධිපතිවරණට ඉදිරිපත්වන පොදු දෙමළ අපෙක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්‍රන් මහතාව නම් කර තිබේ.

යාපනයේ සෙල්වා කලාගාරයේ අද (08) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් තීරණය ප්‍රකාශයට පත්කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.වී. විග්නේෂ්වරන්, සෙල්වම් අඩෙක්කලනාදන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුළු දේශපාලන නියෝජිතයන් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සී.වී. විග්නේශ්වරන්ගේ දෙමළ ජනතා සන්ධානය, ටෙලෝ, ප්ලොට්, ඊපීආර්එල්එෆ්, දෙමළ ජාතික හරිත ව්‍යාපාරය, දෙමළ ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්ෂය, සිවිල් සමාජ සංවිධාන සමඟ එක්ව දෙමළ පොදු අපේක්ෂකයාට සහාය පළ කර තිබේ.

කෙසේ වෙතත් උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂය මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල මතයක් ප්‍රකාශ කර නොමැති අතර පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ, ඔවුන්ගේ තීරණය මෙම සතියේදී ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.