ටයිටන් අනතුරෙන් මියගිය කෝටිපති ව්‍යාපාරික හමීෂ් හාර්ඩින් වසර 9කට පෙර කුරුණෑගලට ඇවිත්

ටයිටන් අනතුරෙන් මියගිය කෝටිපති ව්‍යාපාරික හමීෂ් හාර්ඩින් වසර 9කට පෙර කුරුණෑගලට ඇවිත්

ටයිටැනික් නැරඹීමට ගිය ටයිටන් ඛේදවාචකය පිළිබඳ සිද්ධිය ඉකුත් සතිය පුරා ලොව විවිධ පුවත් නිර්මාණය කළේය. එවන් තත්ත්වයක් තුළ මීට වසර 09කට පමණ පෙර ශ්‍රී ලංකාවේදී සිදුවූ සිද්ධියක් පිළිබඳවට මේ වනවිට යළි මතකය අවදිවී තිබේ.

මෙම සිද්ධිය ද ටයිටන් සබ්මැරීන ඛේදවාචකයෙන් මියගිය බිලියනපති ව්‍යාපාරික හමීෂ් හාර්ඩින් හා සම්බන්ධය. ටයිටන් නම්වූ කුඩා සබ්මැරීනය අවසානයේදී ටයිටැනික් හා සමානවම තවත් ඛේදවාචකයක් බවට පත්වී තිබුණි. ඒ, සබ්මැරීනය පුපුරා යාමෙන් එහි ගමන් කළ පස් දෙනාම ගැඹුරු මුහුදු පත්ලේදී මරුමුවට පත්වූ බවට වාර්තාවීමෙනි.

මෙම අවාසනාවන්ත මුහුදු සංචාරයයට සහභාගී වූ පස් දෙනා අතරින් වඩාත් අවධානයට ලක්වූ පුද්ගලයා වූයේ 58 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික හමීෂ් හාර්ඩින්ය. බිලියනපති ව්‍යාපාරිකයෙකු වන ඔහු දක්ෂ ගුවන් නියමුවෙකු මෙන්ම ගවේෂකයෙකුද විය. ඔහු ත්‍රාසජනක ක්‍රියාවන් කිහිපයක් සඳහා තෙවරක්ම ගිනස් වාර්තා තැබූවෙකු ලෙසින්ද ප්‍රකටය. පසුගිය වසරේදී අභ්‍යවකාශ සංචාරකට ද එක්වූ හමීෂ් හාර්ඩින් දෙදරු පියෙකි.

මෙම ඛේදජනක ඉරණමට ගොදුරුවූ හමීෂ් හාර්ඩින් හරියටම මීට වසර 09 කට පෙර එනම් 2014 වසරේදී කුරුණෑගලදී මට හමුවිය. ඒ හමුවීමද අපූරු සිදුවීමකි. එම අහඹු හමුවීමෙන් හරියටම වසර 09 කට පසුව ඔහු අවාසනාවන්ත මරණයකට ගොදුරු වන්නේ ඒ හමුවීම නැවත සිහිපත් කරවමින්ය.

හමීෂ් හාර්ඩින් තම දරුවන් දෙදෙනාගෙන් 08 හැවිරිදි වැඩිමල් පුතු සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේදී ඔහුගේ මුදල් පසුම්බිය කුරුණෑගල දඹුල්ල මාර්ගයේ මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානය ආසන්නයේදී අස්ථානගතවී තිබුණි. දින ගණනාවක්ම ශ්‍රී ලංකාවේ සංචාරය කොට ආපසු සිය රට බලා යාමට අනුරාධපුර සිට කටුනායක ගුවන්තොටුපොළ බලා ගමන් කරමින් සිටියදී මෙම බිලියනපතියාගේ මුදල් පසුම්බිය අස්ථානගතවී තිබුණි.

ඒ රාත්‍රි කාලයේදී මුත්තෙට්ටුගලදී ගමන්ගත් මෝටර් රථයෙන් බැස ගිමන් හරිමින් සිටි අවස්ථාවේදීය. ඔහු ඒ බව දැනගෙන තිබුණේ ගුවන් තොටුපළට පැමිණීමෙන් පසුවය. ඒ වනවිටද ඔහුට බ්‍රිතාන්‍යය බලා යාමට අවශ්‍ය මඟී ගුවන් යානයද කටුනායක සූදානමින් තිබී ඇත.

එදින අලුයම තම සොයුරිය දුම්රියට ඇරලීම සඳහා මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානය වෙත පැමිණ සිටි එදා 18 හැවිරිදි වියෙහි පසුවූ, ඒ ආසන්නයේම පදිංචිව සිටි තිළිණ බංඩාර දිසානායකට අහම්බෙන් මෙන් හමීෂ්ගේ අස්ථානගතවී තිබූ මුදල් පසුම්බිය හමුවී තිබුණි. එය ඇහිදගත් වහාම ආපසු ගොස් තම මවගේ සොයුරාවූ එවකට කුරුණෑගල වයඹ රාජකීය විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාවූ ගැට්ටුවානේ පදිංචිව සිටි සමරදිවාකර මහතාට එම පසුම්බිය බාරදී ඇත.

පාසල් සිසුවෙකුවූ තම ඥාති පුතුගේ ක්‍රියාව ඉහළින්ම අගය කරමින් මුදල් පසුම්බිය විවෘත කර බැලූ සමරදිවාකර මහතාට පෙනී ගියේ එහි අමෙරිකානු ඩොලර් මුදල් නෝට්ටු තොගයක් සමඟ තවත් විදේශීය මුදල් නෝට්ටු රැසක්ම ඇති බවය. ඒවායෙහි වටිනාකම මෙරට මුදලින් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න විය. (වර්තමානයේ මෙහි වටිනාකම ඉතා ඉහළ විය හැකිය)

ඊට අමතරව එම පසුම්බියේ ලෝකයේ ඕනෑම රටකින් ගනුදෙනු කළ හැකි ක්‍රෙඩිට් කාඩ්පත් රැසක් සමග හිමිකරුගේ හැඳුනුම්පත්ද විය. මේ අතරින් විශේෂම හැඳුනුම්පත වී තිබුණේ එම පසුම්බියේ හිමිකරුවූ හමීෂ් හාර්ඩින් නමැත්තා කවුරුන්දැයි සඳහන් හැඳුනුම්පතකි.

එහි සඳහන් වූයේ ඔහු ගුවන් ගමන් සමාගමක නියමුවෙකු බවය. එදා ඇක්ෂන් ඒවියේෂන් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙකුවූ හමීෂ් අවසානයේදී මියයන විට එම සමාගමේ හිමිකරු වෙමින් බිලියනපතියෙකු බවටද පත්වී තිබුණි.

මුදල් පසුම්බියේ තත්ත්වය වටහාගත් සමරදිවාකර මහතා එම පසුම්බියේ හිමිකරු සොයා කෙසේ හෝ එය බාරදිය යුතු බව තම ඥාති පුත්‍රයාට අවධාරණය කළේය. එය වඩාත් පහසු කටයුත්තක් වූයේ පසුම්බිය තුළ ඔහුගේ දුරකථන අංකයන් සඳහන් කොළ කැබැල්ලක්ද තිබීමය.

ඒ අනුව එම දුරකථන අංකයට ඇමතුමක් ගන්නාවිට හමීෂ් හාර්ඩින් මහතා සිට ඇත්තේ තම මුදල් පසුම්බිය පිළිබඳව සියළුම ආසාවන් අත හැර අපසු සිය රට බලා යාමට කුඩා පුතුද සමඟ ගුවන් යානයේ අසුන් ගෙනය.

වාසනාවකට සමරදිවාකර මහතාගේ නිවසින් ලද දුරකථන ඇමතුම ඔහුගේ ජංගම දුරකථනයට ලැබීමත් සමඟ විශ්මයට පත්වී ඇත. ඔහු තම ගමන නවතා දමා පුතුද සමග ගුවන් යානයෙන් බැස මෙරටේදී තම සංචාරය සඳහා සහායවූ ශ්‍රී ලාංකීය රියැදුරා නැවත කැඳවා පැය කිහිපයක් ඇතුළත ආපසු කුරුණෑගලට පැමිණියහ.

සමරදිවාකර මහතාගේ නිවසට පැමිණි හමීෂ් මහතාට ඔහුගේ මුදල් පසුම්බිය ආපසු බාරදුන් අතර එය පරීක්ෂා කරබැලූ ඔහු නැවත පුදුමයට පත් වූයේ කිසිදු අඩුපාඩුවකින් තොරවම පසුම්බිය යළි තමන් අතට පත්වීම නිසාය.

එය ඔහුගේ බලවත් සතුටට හේතුවූ කරුණක් විය. පසුම්බිය ඇහිඳගත් තිළිණටත් එය නැවත තමන් වෙත ලබාදීමට කටයුතු මෙහෙයවූ සමරදිවාකර මහතාටත් දැඩි ලෙස ස්තුතිය පුද කළ හමීෂ් මහතා මුදල්වලට වඩා තමන්ට වටින්නේ ලොව ඕනෑම රටකට පහසුවෙන් ගමන් කළ හැකි තමන් ගුවන් නියමුවෙකු බව සඳහන් හැඳුනුම්පත බව එහිදී ප්‍රකාශ කළේය.

තිළිණගේ අවංකභාවය ඉහළින්ම අගය කළ හමීෂ් හාර්ඩින් මහතා බලවත් පෙරැත්තයකින් පසුව තිළිණට රුපියල් එක්ලක්ෂ තිස්දහසක මුදලක්ද තෑගි කළේය.

එදින දවස පුරාම ඔවුන් සමඟ ඉතා සතුටින් කාලය ගත කළ හමීෂ් මහතා කුරුණෑගල ඇතාගල නැරඹීමටද ගියේය.

එදින රාත්‍රියේ නැවත වෙන් කරවාගත් ගුවන් යානයකින් සියරට බලා ආපසු ගිය ඔහු මේ කරන ලද ක්‍රියාව වෙනුවෙන් ප්‍රතිඋපකාර දැක්වීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින බවද දැන්වීය. ඉන් වසර කිහිපයකට පසුව එක් අවස්ථාවක සමරදිවාකර මහතාගේ දෙවැනි දියණියට ලන්ඩන් නුවරදී හමීෂ් මහතා හමුවී තිබේ.

මෙම පුවත දිනපතා පුවත්පත්ද ඉහළින්ම වාර්තා කර තිබුණේ තිළිණ විසින් සිදු කළ අවංක මෙහෙවර අගය කරමින්ය.

උසස් අධ්‍යාපනය ලබමින් එම කාලයේදී 18 හැවිරිදි වියෙහි පසුවූ තිළිණ විසින් ශ්‍රී ලංකාවේ කීර්ති නාමය රැකදෙමින් ඉටුකර තිබූ මෙහෙවර පුවත්පත් මාර්ගයෙන් දැනගත් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයද ඔහු කැඳවා ඔහුගේ ක්‍රියාව අගය කරමින් සහතික පත්‍රයක්ද ප්‍රදානය කිරීමට පියවර ගත්තේය.

ටයි⁣ටන් සබ්මැරීනයේ අතුරුදහන්වීම ගැන තොරතුරු සොයමින් සිටි තිළිණ එහි ගමන් කරමින් සිටියදී මරණයට පත් හමීෂ් මහතා පිළිබඳව තොරතුරු දැන ගත්තේය. මේ මරණයට පත් බිලියනපති සංචාරකයා කලකට පෙර තමන්ට හමුවූ මුදල් පසුම්බියේ හිමිකරු බව දැනගත් තිළිණ පුදුමයට පත්විය. ඔහු වහාම ඒ බව සමරදිවාකර මහතාට දැන්වීමෙන් පසුව ඔහු ඒ බව මට දැන්වීය. සමරදිවාකර මහතා මේ වනවිට තම ගුරු වෘත්තීයෙන් විශ්‍රාම ගෙන වැවිලිකරුවෙකු හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රකට සමාජ සේවකයෙකු ලෙස කටයුතු කරමින් සිටී.

මේ වනවිට 28 හැවිරිදි වියෙහි පසුවන තිළිණ වෘත්තීයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවය කරමින් සිටින අතර ඔහු තව නොබෝ දිනකින්ම විවාහ දිවියටද එළඹීමට නියමිතය.

“හමීෂ් මහතාට මේ සිදුවුන දේ ගැන අපේ පවුලේ සාමාජිකයන්ට හරිම කණගාටුයි. මේ අවාසනාවන්ත සිදුවීමත් සමඟ ඔහු අපේ ජීවිතයේ අපිට අමතක නොවන චරිතයක් වේවි. ඔහු අපට හමුවන විටත් ධනවත් පුද්ගලයෙකු වගේම ලෝක වාර්තා රැසකට හිමිකම් කියූ පුද්ගලයෙකු වුවත් ඒ කිසි දෙයක් ඔහු අපට පැවසුවේ නැහැ. ඔහු ඒ තරමටම නිරහංකාර පුද්ගලයෙකු වුණා. ඔහු කවරෙක්දැයි කියලා අප යාන්තමට හෝ දැන ගත්තේ මගේ දියණියකට ඔහු ලන්ඩන් නුවරදී හමුවූ අවස්ථාවකයි. ඔහු අපටත් තිළිණ පුතාටත් අවශ්‍ය ඕනෑම උදව්වක් ඉල්ලන්න කීවත් අප එවැනි උදව් කිසිවක් ඔහුගෙන් බලාපොරොත්තු වුණේ නැහැ . අපට අවශ්‍ය වුණේ ශ්‍රී ලංකිකයන් වශයෙන් අපේ අවංකකමත් රටේ ගෞරවයත් රැක දීම පමණයි. මේ ආකාරයටම ඉන් පසු කාලයකදී කුරුණෑගල ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ගිය අවස්ථාවකදී කවුරුන් හෝ අමතකවී දමා ගිය වටිනා රන් මාලයක් මට හමුවුණා. මම එය අයිතිකරුට ආපසු බාර දෙන ලෙස දන්වමින් රෝහල් කාර්ය මණ්ඩලයට බාර දුන්නත් එය එසේ නොවූ බව පසුව මට දැනගන්නට ලැබුණා. අප අවංක වුවත් හැමෝම එසේ නොවන බව මම ඒ සිදුවීමෙන් පසුව තේරුම් ගත්තා..” යැයි මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දක්වමින් සමරදිවාකර මහතා ප්‍රකාශ කළේය.

පුෂ්පකුමාර ජයරත්න – කුරුණෑගල