සුරිය මංගල්ලේ ගීතය විකෘති කළ පුද්ගලයා තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

සුරිය මංගල්ලේ ගීතය විකෘති කළ පුද්ගලයා තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

සූරිය මංගල්ලේ ගීය අසැබි වචන යොදා විකෘති කළ බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු සුරාබදු නිළධාරියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා අද (22) නියම කළේය.

එසේ යළිත් රක්ෂිත බන්ධනාගාර ගතවූයේ මහනුවර තලාතුඔය පදිංචිකරුවෙකු වූ සුරාබදු නිළධාරියෙකුව කටයුතු කළ අයෙකි.

මේ වනවිට එම දෙපාර්තමේන්තුව ඔහුගේ සේවය අත් හිටුවා ඇත.

අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පරිඝනක කොට්ඨාසයේ වයඹ ඒකකයේ නිළධාරීහු කියා සිටියේ, මේ පිළිබඳ විමර්ශන අවසන් නොවන බවයි.

එමෙන්ම විමර්ශකයින් කළ සොයා බැලීමේදී මෙම ගීතය පරුෂ වචන සහිතව වයස අවුරුදු 4 හා 5 ආදී වයස්වල දරුවන් පවා ගායනා කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරු වෙනුවෙන් කරුණු කී නීතිඥයින් මෙහි අගතියක් නොවන බවත් වරදක් අනාවරණය නොවන බවත් පැවසීය.

මෙහි ප්‍රතිනිර්මාණය සැකකරු විසින් සිදුකර නොමැති අතර එය තම ගිණුම ඔස්සේ බෙදා හැරීම පමණක් සිදුකළ බවද කියමින් ඔකපතන විද්‍යාලය නමින් ඇති පිටුව හා එම විද්‍යාලයේ ගීය යැයි කෘතිම බුද්ධියෙන් සැකසූවක් ඊටත් වඩා අසභ්‍ය අන්දමින් සමාජ ජාලාවල පවතින බවටද ටැබ් යන්ත්‍රයක් මගින් අධිකරණයේ අවධානයට ලක් කරමින් පැවසීය.

එසේ පවසමින් සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලීය.

බුද්ධිමය දේපල යටතේ වරදක් අනාවරණය වන බව පවසමින් සැකකරුගේ මානසික වෛද්‍ය වාර්තාව ආදිය පැමිණ නොමැති බව සැකකරුගේ නීතිඥයින් කළ ඇප ඉල්ලීම ඉවත දමමින් මේ මස 25 දක්වා යළි රිමාන්ඩ් බාරයේ තැබීමට මහේස්ත්‍රාත් වරයා නියම කළේය.

පරිඝනක අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක මලීශ හේරත් සැරයන් මහේෂ් (71191) දසනායක(60934) කුලසිංහ(93508) යන නිළධාරීන් පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ මෙම නඩුවේ සැකකරු වෙනුවෙන් නීතඥ චන්දන යාපා, තිනෙත් කොරසගල්ල, මංජුල දිසානායක යන මහත්වරුන් ඇතුලු පිරිසක් පෙනී සිටියහ.

Share This