හිරු රැස් දැඩි වෙයි – රස්නය සහිත කාලගුණය මැයි මාසය අවසන්වන තෙක්

හිරු රැස් දැඩි වෙයි – රස්නය සහිත කාලගුණය මැයි මාසය අවසන්වන තෙක්

සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම ඊයේ (05) සිට ආරම්භ විය.

ශ්‍රී ලංකාවට හිරු මුදුන්වීම මෙම මස 15 වැනිදා දක්වා සිදු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව, අද (06) දහවල් 12.13 ට උඩුගම, නෙළුව, මඩුවන්වෙල, කුඹුක්වැව සහ යාල යන ප්‍රදේශයන්ට ඉහළින් ඍජුවම හිරු මුදුන්වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම දිනවල සූර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් ගමන් කිරීම සිදුවන බවත් ඒ අනුව, අධික රස්නය සහිත කාලගුණික තත්ත්වය මැයි මාසය අවසන් සතිය වන තෙක් පවතිනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රීතිකා ජයකොඩි මහත්මිය සඳහන් කළේ, ශ්‍රී ලංකාව ආශ්‍රිතව වායු ගෝලයේ පවතින සුළං ප්‍රවාහයේ අඩුවීම මීට ප්‍රධාන හේතුව බවයි.

අහස වළාකුළුවලින් තොරවීම සහ හිරු එළිය සෘජුව පොළොවට පතිතවීම යන කරුණු හේතුවෙන් අධික රස්නය සහිත කාලගුණ තත්ත්වය වැඩි වශයෙන් ජනතාවට දැනෙනු ඇති බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය වැඩිදුරටත් පැවසුවාය.

 

 

Share This