17 හැවිරිදි සිසුවාගේ පිහි පහරින් 15 හැවිරිදි සිසුවා මරුට

17 හැවිරිදි සිසුවාගේ පිහි පහරින් 15 හැවිරිදි සිසුවා මරුට

හම්බන්තොට, සිප්පිකුලම ප්‍රදේශයේ දී පාසල් සිසුවෙක් සිදුකළ පිහි ඇනුමකින් තවත් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය සිසුවා හම්බන්තොට නගරයේ පාසලක ඉගෙනුම ලබන අතර ඔහු උපකාරක පන්තියට සහභාගී වීම සඳහා සිප්පිකුලම ප්‍රදේශයට ගොස් සිටියදී හම්බන්තොට නගරයේ වෙනත් පාසලක සිසුවෙකු අදාළ උපකාරක පන්තිය අසළට ගොස් මෙම පහර දීම සිදු කර තිබේ.

ඊයේ (05) පස්වරුවේ අදාළ පහරදීම සිදුව ඇති අතර සිසුවා හම්බන්තොට රෝහලට ඇතුළත් කර හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බවයි, පොලිසිය පැවසුවේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, බැද්දෙවෙල පාර, හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙකි.

සිසුන් දෙදෙනා අතර පැවති ආරවුලක් මෙම පහර දීමට හේතු වී ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අදාළ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් 17 හැවිරිදි පහර දීම සිදු කළ පාසල් සිසුවා මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Share This